පොදුජන එක්සත් පෙරමුණට පුටුව දුන්නොත් විරෝධතා ගෙනෙනවා-දයාසිරි ජයසේකර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිට ලිපියක් යවමින් කියයි

පොදුජන එක්සත් පෙරමුණ නමැති දේශපාලන සන්ධානයට පුටුව ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීම සිදු කළ හොත් ඊට දැඩි ලෙස විරෝධතාව ප්‍රකාශ කරන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන පාර්ශ්වකාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යනුකූල ප්‍රධාන ලේකම්වරයා ලෙස තමන් සහ අනෙකුත් පක්ෂවල නියෝජිතයන් කිසිදු දැනුම්වත් භාවයක් නොමැතිව පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව නීති විරෝධී සහ වංචනික ලෙස සංශෝධනය කර නව නිලධාරී මණ්ඩලයක්ද පත්කර ගෙන ඇති බවත්, මේ සම්බන්ධව ඉදිරියේදී නීතිමය ප්‍රතිපාදන තුළ ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දයාසිරි ජයසේකර මහතා මෙම ලිපිය මඟින් දැනුම්දී තිබේ.

මෙලෙස වංචනික ලෙස ඉදිරිපත් කර ඇති සංශෝධිත ව්‍යවස්ථාව පිළිනොගන්නා ලෙස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධව පවතින නඩු කටයුතු අවසන් කර අවසාන තීන්දුවක් ලැබෙන තෙක් පොදුජන එක්සත් පෙරමුණ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නා ලෙස ද ප්‍රධාන ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සහ ප්‍රධාන ලේකම් ධුරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ, කඩුවෙල දිසා අධිකරණයේ ඇතුළු අධිකරණ ගණනාවක නඩු රැසක් විභාග වෙමින් පවතින අතර එම නඩු තීන්දුවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය, ලේකම් ධුරය පිළිබඳව අවසානාත්මක තීරණයක් ලැබෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගැනීමට මැතිවරණ කොමිසම තීරණයක් ගත් බව ද මෙම ලිපියෙන් සභාපතිවරයාට සිහිපත් කර ඇත.

එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන පාර්ශ්වයක් වන පොදුජන එක්සත් පෙරමුණ නමැති දේශපාලන සන්ධානයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කිසිදු නීත්‍යනුකූල බලයක් හිමි නොවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ලද සුළුතර කණ්ඩායමක් ඔවුන්ට නොමැති බලයක් ආරෝපණය කරගෙන අනීතික සහ වංචනික ලෙස කූට ලේඛන සකස් කරමින් සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ පොදුජන එක්සත් පෙරමුණේ සහෝදර පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයින් නොමඟ යවමින් නීත්‍යනුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාවේ අවසරයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් කර මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බවත් මෙම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.