රු. 25,000ක පොහොර සහනාධාරය 20 දා සිට ගොවි ගිණුම්වලට-මහා භාණ්ඩාගාරයෙන් කෝටි 200ක්

මහ කන්නය වෙනුවෙන් ගොවීන්ට ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය මෙම 20 වැනිදා සිට ගොවි ගිණුම්වලට ඍජුවම බැර කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ සඳහා රුපියල් බිලියන 20ක මුදලක් (රුපියල් කෝටි 200) මහා භාණ්ඩාගාරයෙන් දී ඇති බවයි. ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 25,000ක මුදලක් මෙම 20 වැනිදා සහ 30 වැනිදා අතර දිනයන්හිදී ගොවි ගිණුම් වෙත බැර කෙරෙන අතර මෙම මුදල ගොවීන්ගේ මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සපුරාලනු ඇතැයි ද ලේකම්වරයා ‘දිනමිණට’ පැවැසීය.

මෙවර මහ කන්නයේදී හෙක්ටයාර අට ලක්ෂයක කුඹුරු ප්‍රමාණයක් වගා කිරීමට ද සැලසුම් කර ඇතැයි ද ගොවීන්ගේ පොහොර අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පොහොර තොග ප්‍රමාණවත්ව ගබඩාවන්හි ඇති බව ද ඒ මහතා අවධාරණය කළේය.

එමෙන්ම ලබන යල කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ගොවීන්ට දීමට QR කේත ක්‍රමයක් හඳුන්වා දීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දුන් බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

‘මැතිවරණ කොමිසම අපට උපදෙස් දී තිබුණේ මෙම පාර්ලිමේන්තු මැතිවරණය ගැසට් කළ පසු යම් වැඩි කිරීමක් සිදු කර ඇත්නම් ඒවා එම මැතිවරණය පැවැත්වූ පසු ලබාදීමට කටයුතු යොදන ලෙසයි. රුපියල් 15,000ක් මුලින්ම ලබාදීලා දෙවනුව ඉතිරි රුපියල් 10,000 ලබා දෙන්නත් පුළුවන්. නමුත් මේ රුපියල් 25,000ම පොහොර සහනාධාරය වශයෙන් එකවර ලබාදීමේ කිසිදු ගැටලුවක් මා දකින්නේ නෑ. ඒ නිසා ලබන 20 වැනිදා සිට මෙම මුදල් ගොවි ගිණුම්වලට ඍජුවම බැර කිරීම ඇරඹෙනවා. එමෙන්ම ජනාධිපතිතුමන් ඊයේ (03) අපට උපදෙස් දුන්නේ මෙම පොහොර සහනාධාරය ලබාදීම ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කරන ලෙසයි. එහිදී QR කේත ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු යොදන ලෙස ද ජනාධිපතිවරයා අපට උපදෙස් දුන්නා. එය සිදු කළ පසු අදාළ මුදල් බැංකු හරහා ගොවීන්ට ලබාදීම තවත් විධිමත්ව සිදු කෙරෙනු ඇති. පොහොර සහනාධාරය නොලැබෙතැයි දැන් කිසිදු ගොවි මහතකු අනිසි බියක් ඇති කරගත යුතු නැහැ.’ යැයිද ලේකම්වරයා අවධාරණය කළේය.