මැදපෙරදිග යුද්ධයට ඉරානයත් පැටලෙයි-මිසයිල වරුසාවකින් ඊශ්‍රායලය දෙදරයි

මැදපෙරදිග යුද උණුසුම ඉහළ දමමින් ඉරානය පෙරේදා රාත්‍රී ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව විසින් බැලැස්ටික් මිසයිල සහ කෘෘස් මිසයිල 150කට ආසන්න ප්‍රමාණයක් එල්ල කරනු ලැබූ බවට බටහිර මාධ්‍ය වාර්තා කළද, ඉරානයෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 400ක් පමණ එල්ල වූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ සිට ඊශ්‍රායලයට කිලෝමීටර් 2300කට ආසන්න දුරක් ඇති බැවින් බැලැස්ටික් මිසයිල පමණක් නොව කිලෝමීටර් තුන්දහසකට අධික දුරකට එල්ල කළ හැකි හයිපර්සොනික් මිසයිල ද ඉරානය පළමුවරට භාවිත කර ඇතැයි තොරතුරු වාර්තා වේ.

ඉරානයේ සිට ඉරාකය සහ ජෝර්දානයට ඉහළ අහසින් පියාසර කළ මිසයිල ඊශ්‍රායලයට සේන්දුවීමට මිනිත්තු කිහිපයකට පෙර රට පුරා සයිරන් හඬ පැතිරී ගිය බවත්, ඉරාන මිසයිලවලින් වැඩි ප්‍රමාණයක් අයන් ඩෝම් මිසයිල නාශක පද්ධතියෙන් ගුවනේදීම පුපුරුවා හැරීමෙන් විශාල විනාශයක් වළක්වා ගැනීමට ඊශ්‍රායලයට හැකිවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සිය ප්‍රහාරවලින් 80%ක්ම සාර්ථක වූ බව ඉරානය නිවේදනය කළ ද, ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් 90%ක්ම විනාශ කිරීමට සමත්වූ බවය. පෙරේදා රාත්‍රිය පුරා ඊශ්‍රායල අහස ගිගුම් දෙමින් රතු පැහැති ආලෝකයෙන් යුතු මාරාන්තික මිසයිල පියාසර කිරීමේ වීඩියෝ පට මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වෙමින් පවතින අතර, ඊශ්‍රායල අයන් ඩෝම් මිසයිල නාශක පද්ධතියට මඟ හැරුණු මිසයිල රැසක්ම ජෙරුසලම සහ ටෙල් අවීව් නගර වෙත පතිත වූ බව එරට සිටින යුද වාර්තාකරුවන් ප්‍රකාශ කර තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාරයෙන් සිදුවූ විනාශය පිළිබඳ ඊයේ පස්වරුව වනවිටත් ඊශ්‍රායල හමුදාව තොරතුරු එක්රැස් කරමින් සිටි අතර, පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීම හේතුවෙන් ජීවිත හානි වාර්තා නොවූව ද, නිවාස, ගොඩනැඟිලි, පාසල් සහ හෝටල් 100කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවට තහවුරු වී තිබේ.