නේපාලයේ ගුවන්තොටුපොළ 2කට මූල්‍ය වංචා චෝදනා ණය ගෙවීමටවත් ආදායමක් නැති බව හෙළිවෙයි

නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ ලුම්බිණි නුවර ගෞතම බුද්ධ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම්වලදී මූල්‍ය අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම චෝදනා විමර්ශනය සඳහා නේපාල නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යටතේ මහජන ගිණුම් පිළිබඳ කමිටු දෙකක් ස්ථාපිත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ලුම්බිණි නුවර ඉදි කළ ගෞතම බුද්ධ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කිරීමේ කටයුතු සඳහා ඉඩම් මිලදී ගැනීමේදී සැලකිය යුතු අක්‍රමිකතා සිදුවීමත්, කිසිදු ශාක්‍යතා අධ්‍යයනයකින් තොරව වැඩ ආරම්භ කිරීමත් චෝදනාවට ලක්වී ඇති අතර, ඒ පිළිබඳ අදාළ කමිටු විසින් මෙතෙක් කිසිදු වාර්තාවක් රජයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ. එම කමිටු තවදුරටත් පවතින්නේ නම් වාර්තාව ඒකපාර්ශ්විකව නිකුත් වනු ඇතැයි ද නේපාල පාර්ලිමේන්තු නියෝජිතයකු ප්‍රකාශ කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

චීනයේ අපනයන හා ආනයන බැංකුව සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 215.96ක සහන ණය ගිවිසුමක් යටතේ ඉදි කරනු ලැබූ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෛනික ගුවන් ගමන් සිදු නොවීම හේතුවෙන් එය නඩත්තු කිරීමට සහ ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට අසමත්වීමත් දැඩි විවේචනයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.