ජනතාවාදී ජන­ාධිපතිට එරෙහි වෙන්න බැරි නිසා ඡන්දෙට එන්නෙ නෑ-හිටපු මන්ත්‍රී ගුණපාල රත්නසේකර

ජනතාවාදී ජනාධිපතිවරයකු රටට පත්ව සිටින අවස්ථාවක ඔහුට එරෙහිව විරුද්ධ පක්ෂයකින් ඉදිරිපත්වී කටයුතු කිරීමට තිබෙන අකැමැත්ත මත ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා ප්‍රකාශ කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ඊයේ (02) කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“රටේ පවතින දේශපාලන ක්‍රමය මා වැනි කෙනකුට සුදුසු නෑ. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවූවත් ක්‍රියාකාරී දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ නෑ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ගත් තීන්දු තීරණ බොහෝමයක් වැරදියි. අපි මේවා වැරදියි කියමින් නිවැරදිව කළ යුතු දේ පාර්ලිමේන්තුවේදීත්, කණ්ඩායම් රැස්වීම්වලදීත් කිව්වා. නමුත් අවාසනාවකට ඔහු අපේ යෝජනා සහ අදහස් කිසිවකට සවන් දෙන ස්වභාවයක් පේන්න තිබුණේ නෑ. මේ තත්ත්වය මත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දහයක් ජනාධිපතිවරයාට ලිපියක් දුන්නා, මින් මතුවට අපේ හෘද සාක්ෂියට අනුව වැඩ කරනවා කියලා. මමත් ඒ දහයෙන් එක් කෙනෙක්.

මම සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් වෙන්නේ නෑ. මේ මැතිවරණයේදී ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වීමෙන් වැළකී ඉන්නවා. ඉදිරියට රජයේ හොඳ දේට උදව් කරන්න මම ඕනෑම අවස්ථාවක සූදානම්. විශ්වවිද්‍යාලයෙන් ගත් දැනුමෙන් මම නියෝජනය කළ රජය මගෙන් කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නෑ. මේ රජය අපෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඊට සහාය දීමට මා සූදානම්.”