ප්‍රවීන්ට වසරක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

එහෙත් මේ වසරක තහනම මාස හයක කාලයක් සඳහා අත්හිටුවීමට ද අයිසීසීය පියවර ගෙන ඇත.

අයි.සී.සී. දූෂණ විරෝධී සංග්‍රහය (ICC Anti-Corruption Code) උල්ලංඝනය කළ බවට ප්‍රවීන්ට චෝදනා එල්ල වූ අතර, ඔහු විසින් එම චෝදනා පිළිගැනීම හේතුවෙන් මේ තහනම පනවා තිබේ.

තරග පාවාදීම්වලට සම්බන්ධ වන ලෙස ප්‍රවීන්ට එවූ ව්ට්ස්ඇප් පණිවිඩ මකා දැමීම, එම යෝජනාවන් පිළිබඳ නියමිත කාලයේදී අයිසීසීය දැනුම්වත් නොකිරීමෙන් ප්‍රවීන්ට චෝදනා එල්ල විය.

ජාත්‍යන්තර හා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ඔහුට මේ චෝදනා ගොනු කර තිබූ අතර, විමර්ශනයට අදාළ විය හැකි සාක්ෂි හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම ඇතුළුව පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනා ඒ අතර විය. එමඟින් අයිසීසී සංග්‍රහයේ 2.4.7 වගන්තිය කඩ කර ඇති බවට වාර්තා විය.

2022 වසරේ අවසන් වරට ජාතික පිල නියෝජනය කළ ප්‍රවීන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග 5ක් බැගින් ක්‍රීඩා කර තිබේ