කෝර්ඩීලියා සංචාරකයන් 5000කට අධික පිරිසක් ගතවූ මාස නවයේ හම්බන්තොට වරායට

දේශීය ආර්ථිකය නැංවීම සඳහා සංචාරක කර්මාන්තයේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මේ වසරේ ගතවූ කාලයේ කෝර්ඩීලියා සංචාරක නැව් සමාගම විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සිදු කළ නියමිත පැමිණීම් ඔස්සේ සංචාරකයන් 5000කට අධික පිරිසක් පැමිණ තිබේ.

ජූලි සහ සැප්තැම්බර් මාසවල ඇරඹෙන කෝර්ඩීලියා සංචාරක සමයේ එම සමාගමේ මගී නෞකා හය වරක් හම්බන්තොට වරායට පැමිණි අතර, නියමිත පරිදි කෝර්ඩීලියා සමාගමෙහි මීළඟ සංචාරක වාරය ද 2025 ජූනි මස ආරම්භවී සැප්තැම්බර් මස අවසන් වීමට නියමිතය.

ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයන්ට ආකර්ෂණීය නිවාඩු පැකේජ පිරිනමන කෝර්ඩීලියා සමාගම, චෙන්නායි සිට ශ්‍රී ලංකාව බලා සංචාරක ගමන් ආරම්භ කළේ 2023 ජූනි මාසයේදීය. එතැන් සිට මෙතෙක් ඔවුන්ගේ නෞකා 16 වරක් HIP වෙත පැමිණ ඇත.

හම්බන්තොට වරායේ ගොඩබසින සංචාරකයන්ට, කෝර්ඩීලියා සංචාරක සමාගමේ අනුබද්ධ ආයතන වන ශ්‍රී ලංකාවේ ක්ලැරියන් නැව් සමාගම සහ ගෝල් ට්‍රැවල්ස් ලංකා පුද්ගලික සමාගම විසින් සවාරි සහ විනෝදස්වාද ක්‍රියාකාරකම් රැසක් පිරිනමයි. ඒ අතර ගාලු ලන්දේසි කොටුව, උඩවලව සහ බූන්දල ජාතික වනෝද්‍යාන, දියලුම ඇල්ල, යාල ජාතික උද්‍යානය, උණවටුන වෙරළ තීරය වැනි ආකර්ෂණීය ස්ථාන වෙත ගමන් සහ සාප්පු සවාරි ද වේ.

මේ මගී නෞකාවල ක්‍රමික පැමිණීම්, ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් HIP හි කාර්යභාරය ශක්තිමත් කරනවා පමණක් නොව දේශීය ආර්ථිකයේ අභිවෘද්ධියට ද ඉමහත් රුකුලක් වේ.