ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයට රටවල් රැසකින් ඉන්දියාවට සහාය

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා 79 වැනි මහා මණ්ඩල සැසියේදී ලෝක රාජ්‍ය නායකයන් රැසක් සහාය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ නිව්යෝක් නුවර පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසියේදී ඉන්දියාවට සහාය පළ කළ රටවල් අතර ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් වන රුසියාව, අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 1945දී පිහිටුවනු ලැබූ නිත්‍ය සාමාජිකයන් 5 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දෙවසරකට වරක් නිල නොවන සාමාජිකයන් 10 දෙනකු ද පත්වන අතර, ඉන්දියාව එහි නිත්‍ය සාමාජිකත්වය ඉල්ලා හඬ නඟමින් සිටින්නේ දශක ගණනාවක සිටය. අවසන් වරට 2021-22 කාලසීමාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිල නොවන සාමාජිකයකු ලෙස කටයුතු කළ ඉන්දියාවට එහි නිත්‍ය අසුනක් ලබා දිය යුතු බවට පෘතුගාලය, ඇන්ගෝලාව ඇතුළු රටවල් ද සහාය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අප්‍රිකාව, ලතින් අමෙරිකාව, මැදපෙරදිග සහ ආසියාව නියෝජනය කිරීමට ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කළ යුතු බවත්, ලබන වසරට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි සංවත්සරයේදී අවම වශයෙන් ඉන්දියාවට, බ්‍රසීලයට සහ තෝරාගත් අප්‍රිකානු රටකට ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය පිරිනැමිය යුතු බවට චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් යෝජනා කර ඇතැයි ද වාර්තා වේ.