රිදියගම සෆාරියේ උපන් සිංහ පැටවුන් තිදෙනාට ළමා දිනයේදී නම් තබයි-ඩූමා – සියෝ – ෆාරුට දැන් මාස පහක්:

ලෝක ළමා දිනය යෙදී තිබුණු අද (01) පින්නවල සත්ත්වෝද්‍යානයේ සිටින මාස පහක් වයසැති සිංහ පැටවුන් තිදෙනාට නම් තැබීම පින්නවල සත්වෝද්‍යාන පරිශ්‍රයේදී ඊයේ (010) පෙරවරුවේ පැවති චාම් උත්සවයකදී සිදු කෙරිණි. ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ටී. මාරසිංහ මහතාගේ උපදෙස් පරිදි පින්නවල ජාතික සත්ත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතාගේ සහ පින්නවල සත්ත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරි මලිත් ලියනගේ, ගණකාධිකාරි දනූෂි මිදෙණිය මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

හම්බන්තොට සෆාරි උද්‍යානයේ උපත ලබා ඇති මේ සිංහ පැටවුන් තිදෙනා ලංකාවේ උපන් මිහිරා නැමැති සිංහ ධේනුවට සහ ජෙනි නැමැති සිංහයාට දාව මේ වසරේ මැයි 7 වැනි දින උපත ලබා ඇති බවත් උපත ලැබූ දිනම මව විසින් පැටවුන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හදා වඩා ගැනීමට එදිනම පැටව් තිදෙනා පින්නවලට රැගෙනවිත් මෙහි පශු වෛද්‍ය නිලධාරි මලිත් ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ චමිලා දීපානි, මේනකා ගුණසේකර, ඉදුවර දිල්සාන් සේවක මහත්ම මහත්මීන් විසින් කිරි පොවා ඇති දැඩි කර ජනතාවට දැක බලා ගැනීමට මුදා හැරි බව මිහිරාන් මහතා දිනමිණට පැවසීය. අන්තර්ජාලය ඔස්සේ මේ පැටවුන්ට නම් යොජනා කිරීමට අවස්ථාව සලසා තිබූ අතර, මීගමුව ප්‍රදේශයේ පදිංචි රන්මිණි ප්‍රනාන්දු මහත්මිය විසින් ‘ඩූමා’ යන නමත්, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ගිහානි ලක්මාලි මහත්මිය ‘සියෝ’ යන නමත් යොජනා කර තිබිණි. අනෙක්

පැටවාගේ නම සත්ත්වෝද්‍යානයේ සේවක මහතකු විසින් ‘ෆාරු’ යන නම යොජනා කර තිබිණි. නම් යොජනා කළ අයට ත්‍යාග පිරිනැමීම නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා ඇතුළු නිලධාරීන් අතින් සිදු කෙරිණි.