ගොවි-ධීවර සහනාධාරය ඡන්දය නිසා නවතනු එපා

මේ රටට බත සපයන ගොවියාටත් බතට ප්‍රෝටීන සම්පත ලබාදෙන ධීවරයාටත් රජයක් විසින් ලබාදෙන සහනාධාර, මැතිවරණයක් හේතුවෙන් නැවැත්විය යුතු නැතැයි හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ නිසා යල – මහ වැපිරීම කල් දැමිය නොහැකි බවත් වගා කන්නයකදී නියමිත කාලය තුළ පොහොර යෙදීමට ගොවීන්ට අවස්ථාව අහිමි වීමෙන් වී අස්වනු අඩු වී ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වනු ඇතැයිද අමරවීර මහතා පෙන්වා දුන්නේය.

රජය මඟින් ගොවීන්ට ලබාදීමට සැලසුම් කළ පොහොර සහනාධාරය දෙවතාවක්ම මැතිවරණ කොමිසම මඟින් අත්හිටුවීම පිළිබඳ අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමරවීර මහතා අවධාරණය කළේ, ඉදිරියේදී තවත් මැතිවරණ දෙකක් පැවැත්වීමට නියමිත අතර, එසේ වුවහොත් ගොවියාට ධීවරයාට රජයෙන් හිමි වන සහන කිසිවක් ලබාදීමට නොහැකි වන බවයි.

“ගොවියාට පොහොර සහනාධාරය ලබාදීමට කැබිනම් මණ්ඩලයට යෝජනා කළේ මමයි. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණේ අගෝස්තු මාසයේ. ධීවරයාට ඉන්ධන සහනය ලබාදීමටත් අනුමැතිය ලැබුණේ ඒ මාසයේදිමයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ නිසා එය මැතිවරණ කොමිසම මඟින් අත්හිටුවූවා.

ඒ වගේම ලෝක ආහාර වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදුන් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් රැගත් නැව මේ වන විටත් මෙරට බලා පිටත් වෙලා. තව සති කීපයකින් එය කොළඹ වරායට සේන්දු වනවා. එම පොහොර ගොවීන් අතර කඩිනමින් බෙදාහැරිය යුතුයි. මෙම මස අවසන් සතියේදී මහ කන්නය ආරම්භ වනවා. ලබන මාසය ආරම්භයේදී පමණ මෙම බණ්ඩි පොහොර තම කුඹුරුවලට යෙදීමට ගොවීන් බලා සිටිනවා.

බණ්ඩි පොහොර නියමිත කාලයට කුඹුරට එක් නොකළොත් ගොයම කහ පැහැවී අස්වනු බාල වනවා. ඒ තුළින් අපේක්ෂිත අස්වැන්නට ළඟා වීමට ගොවීන්ට අපහසු වීම නිසා වී අස්වනු අවම වී පාරිභෝගිකයන්ගේ සහල් අවශ්‍යතාව සපුරාලන්නට ද නොහැකි වනවා. මේ නිසා මෙම ප්‍රශ්නය ගැන දේශපාලන ඇසකින් නොව ගොවියාගේ පැත්තෙන් අවධානය යොමු කළ යුතු යැයි මා සිතනවා. “යැයිද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.