අයිෆා සම්මාන උලෙළේ හොඳම නළුවා ෂාරුක්

ජවාන් චිත්‍රපටයේ රංගනය උදෙසා බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් මෙවර ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමි සම්මාන උලෙළේ (අයිෆා) හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර පසුගියදා පැවැති 24 වැනි අයිෆා සම්මාන උලෙළේ හොඳම නළුවාගේ සම්මානය දිනා ගැනීමත් සමඟ ඔහු අයිෆා සම්මාන ඉතිහාසයේ හොඳම නළුවා ලෙස වැඩිම වාර ගණනක් සම්මානයට පාත්‍ර වූ නළුවාගේ සම වාර්තාවට හිමිකම් කීමට ද සමත් වී තිබේ. මේ වන විට ෂාරුක් සමඟ රිතික් රොෂාන් සම්මාන 5 බැගින් දිනා සිටින අතර, ෂාහිඩ් කපූර් හොඳම නළුවාගේ සම්මාන තුනකට හිමිකම් කියන බව වාර්තා වේ.

58 හැවිරිදි ෂාරුක් ඛාන් සමඟ දීපිකා පදුකෝන් සහ විජේ සේතුපති රංගනයෙන් දායක වූ ජවාන් චිත්‍රපටය ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි දහසකට වැඩි ආදායමක් උපයා ගැනීමට සමත්වූ චිත්‍රපටයකි.