සාමාන්‍ය පාස්පෝට් මිලදී ගැනීම වැළැකූ අතුරු තහනම වෙනස් කරයි

පෞද්ගලික සමාගම් දෙකකින් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් මිල දී ගැනීම වළක්වමින් පසුගියදා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (01) තීරණය කළේය. අදාළ අතුරු නියෝගය නිකුත් කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවට ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වයේ ද එකඟත්වය සහිතව අදාළ අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලදි. ඒ අනුව රජයේ තීරණ පරිදි සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු බලධාරීන්ට හැකි වන බව එහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ විය.

එහෙත් “ඊ විදෙස් ගමන් බලපත්‍ර” මිලියන පහක් මිල දී ගැනීම වළක්වාලමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය නොවැම්බර් මස 06 වැනිදා තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කරන ලදි.

“එපික් ලංකා පෞද්ගලික සමාගම” මඟින් ගොනුකළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෞද්ගලික සමාගම් දෙකකින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස් දහසක් සහ පෞද්ගලික සමාගමකින් ඊ විදෙස් ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීම ඊයේ (01) තෙක් වළක්වමින් අතුරු තහනම් නියෝග නිකුත් කර තිබිණි.

මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම ඊයේ කැඳවන ලදි. එහිදී වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරල් සුමති ධර්මවර්ධන මහතා එහිදී සඳහන් කළේ අධිකරණය මඟින් පනවා ඇති මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවය.

විදේශ රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු විවිධ හේතූන් මත විදේශගත වීම සඳහා ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් සිටින බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.

එහෙත් මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදෙස් ගමන් බලපත්‍ර 13,080ක් පමණක් වන අතර වැඩ කරන දින 30කදී එම විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය නිකුත් කර අවසන් බව ද ඉන් අනතුරුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් නැති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.

එවැනි අර්බුදකාරී අවස්ථාවෙන් මිදීම සඳහා මෙලෙස හදිසි මිල දී ගැනීමක් ලෙස විදෙස් ගමන් බලපත්‍ර පෞද්ගලික සමාගම් දෙකකින් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

එහෙත් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම නිසා එම ගමන් බලපත්‍ර තොගය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා තවදුරටත් සඳහන් කර සිටියේය.

එබැවින් ජනතාවගේ සහ රටේ යහපත සඳහා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමට හැකි වන පරිදි දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා සඳහන් කළේ මෙහිදී සහ ජනතාවගේ යහපත සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවය.

විදෙස් ගමන් බලපත්‍ර හිඟතාව නිසා මහජනතාවට මුහුණපෑමට සිදු වන අපහසුතාව සැලකිල්ලට ගෙන සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහෙත් ඊ විදෙස් ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකළ යුතු බව ඔහු සඳහන් කළේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් විරෝධය පළ නොකළේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ වැඩ කරන ආගමන විගමන පාලකවරිය අධිකරණය හමුවේ පෙනී සිටින බවය.

සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රවල ගෙවීම් ඇතුළු කරුණු සලකා බැලීම සඳහා පංචපුද්ගල කමිටුවක් පත් කිරීමට වැඩ බලන ආගමන හා විගමන පාලකවරිය කටයුතු කිරීම අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිල දී ගැනීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට තීරණය කළ අතර ඊ විදෙස් ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළේය.

පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා නොවැම්බර් මස 06 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි.

පෞද්ගලික සමාගම් දෙකකින් විදෙස් ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිල දී ගැනීම සඳහා ඉකුත් රජය තීරණය කර ඇති අතර ඒ සඳහා වන කැබිනට් මණ්ඩල තීරණය ඉකුත් සැප්තැම්බර් මස 2 වැනිදා ගෙන ඇති බව පෙත්සම මඟින් පෙන්වා දී තිබිණි.

මෙම ගමන් බලපත්‍ර තොගය මිල දී ගැනීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර තීරණය කර නැති අතර එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම මඟින් පෙන්වා දී තිබිණි.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ඉකුත් සැප්තැම්බර් මස 26 වැනිදා මෙම අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.