වෙලාවට වැඩ කිරීමෙන් ලෝකයේ රටවල් දියුණු වුණා-මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන්

ලෝකයේ රටවල් දියුණු වූයේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද නිසා බවත්, අපි සැම රටක් ලෙස ඒ මඟට පිවිසිය යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගිය 27 වැනිදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගනිමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙලෙස ද කියා සිටියේය.

“වේලාවට වැඩ කිරීමේ පුරුද්ද රට මැදින් පටන් ගන්නවා. හරියට වැඩ කළොත් රටම අලුත් වෙනසකට මුලපුරන්න හැකියාව ලැබෙනවා. දියුණු රටක් බවට අපේ රට පත් කිරීමේ වැඩපිළිවෙළ මධ්‍යම පළාතෙන් ආරම්භ කරනවා. අධ්‍යාපනයෙන් කොයිතරම් දියුණු මිනිසුන් නිර්මාණය කළත් ඔවුන් සංස්කෘතිය අතින් පොහොසත් නැත්නම් එය සමාජ පරිහානියට හේතුවක්. අපේ රට නිදහස ලබන අවස්ථාව වන විට ජපානයේ ඒක පුද්ගල ආදායමට සමාන ආර්ථික දියුණුවක් අප ලබා සිටියා. නමුත් අද වන විට එය විශාල පරතරයක් දක්වා වෙනස් වී තිබෙනවා. ඉකුත් දශක හතක කාලයේ අපේ රට භෞතික වශයෙන් පුළුල් වූවත් ආධ්‍යාත්මික වශයෙන් වර්ධනය වී නෑ.

රටේ නීතිය, සාමය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම මූලික අභිප්‍රායක්. හොරකම, වංචාව,දූෂණය සහ නාස්තිය සිදු නොවීමට කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් මම කැපවී කටයුතු කරනවා. මිනිසා ආර්ථික දියුණුව ලබන අතරේ සංස්කෘතිකමය වශයෙන් ද දියුණුව කරා යොමුවිය යුතුයි. එම වැඩපිළිවෙළත් මධ්‍යම පළාතෙන් ක්‍රියාත්මක කිරීමේ පදනම ගොඩනඟනවා.”