එන්එස්එල් එක්දින ක්‍රිකට් අවසන් සටනේ තීරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමේ අරමුණනින් යාපනය සහ ගාල්ල කණ්ඩායම් අද තරග බිමට පිවිසෙයි.

කණ්ඩායම් 5ක් එක්වන තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක අද පැවැත්වෙන අතර, එහිදී ගාල්ල කණ්ඩායම කොළඹ පිල සමඟ ආර්. ප්‍රේමදාස පිටියේදීත්, යාපනය කණ්ඩායම දඹුල්ලට එරෙහිව හම්බන්තොටදීත් තරග වැදීමට නියමිතය.

අවසන් වරට පසුගිය 28 දා පැවති තරගයකදී ගාල්ල පිල යාපනය හමුවේ ලකුණු 4කින් (ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව) පරාජයවූ අතර, ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටි ගාල්ල තෙවැනි ස්ථානයට වැටිණි. ඒ සමඟ යාපනය දෙවැනි ස්ථානය හිමි කර ගත්තේය. මේ වන විට යාපනය ප්‍රසාද ලකුණු 9ක් සහ ගාල්ල ප්‍රසාද ලකුණු 8ක් ලබා සිටී.

අවසන් තරගයට බලපෑමක් නොවන මහනුවර සහ දඹුල්ල අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමා වට පත්විය.

මේ සමඟ මහනුවර කණ්ඩායම තරගාවලිය නිමා කළ අතර, ඔවුහු තරග 8කදී එක් ජයක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැන සිටිති. දඹුල්ල අද තරගයකට එක් වුවත් මේ වන විට අවසන් ස්ථානයේ පසුවන බැවින් අවසන් තරගයට එක්වීමේ අවස්ථාව අහිමිව තිබේ.

වේලාසනින්ම අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීම කොළඹ (12) ක්‍රීඩකයෝ සමත් වූ අතර, ඔවුන්ට පසුගිය 28 දා විවේක දිනයක් විය.

අද පැවැත්වෙන ගාල්ලට එරෙහි තරගයෙන් කොළඹ පිලට කුමන ප්‍රතිඵලයක් අත්වුවද ඔවුන්ට අවසන් තරගයට බලපෑමක් නොවනු ඇත. ඒ අනුව අද ගාල්ලට සහ යාපනයට ජයග්‍රහණ අනිවාර්යය වී ඇති අතර, එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායමට කොළඹ සමඟින් අවසන් තරගයට එක් වීමේ අවස්ථාව හිමි වෙයි.

මේ අතර තරගාවලියේ තරග 18ක් නිමා වෙද්දී කොළඹ පිලේ දිලුම් සුදීර කඩුලුලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 14ක් බිඳ දමමිනි. මුදිත ලක්ෂාන් (ගාල්ල) කඩුලු 13ක් සහ ඉසිත විජේසුන්දර (යාපනය) කඩුලු 11ක් දවා ගෙන තිබේ.

මහනුවර පිලේ කවීන් බණ්ඩාර ලකුණු 287ක් සමඟින් පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටිය ද මේ වන විට මහනුවර තරග නිමා වී තිබේ. චරිත් අසලංක (කොළඹ) ලකුණු 286ක් සහ යශෝධ ලංකා (යාපනය) ලකුණු 279ක් රැස් කර සිටිති.