සසුන බැබළවූ කහහේනේ මේධානන්ද නාහිමි ආදාහන පූජෝත්සවය අද

බුදු වදන අනුව වටිනා පැවිදි ජීවිතයක් ගත කරමින් රටටත් සම්බුද්ධ ශාසනයටත් උදාර මෙහෙවරක් ඉටුකළ සංඝ පීතෘන් වහන්සේ නමක් වූ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වග කහහේන සුසිරිවර්ධනාරාමය, උඩමාමිටිගම ගංගාරාමය යන උභය විහාරාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මීගමු පළාත් සහිත සීනාදී සිව්කෝරළයේ, විශේෂ අධිකරණ සමථ බල සම්පන්න ද්විතීය සංඝනායක විනය කීර්ති ශ්‍රී කල්‍යාණතිස්ස ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්ම විශාරද මුළු දිවයිනටම සාමවිනිසුරු කහහේනේ මේධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගියදා අපවත් වූහ. උන්වහන්සේ 1955 අප්‍රියෙල් 08 වැනි දින ජන්මලාභය ලැබූහ. ධර්මරත්න මතුගම නමින් නම් කළ හෙතෙම, මූලික අධ්‍යාපනය වැලිකන්න රෝමානු කතෝලික විද්‍යාලයෙන්ද, ද්විතීයික අධ්‍යාපනය හංවැල්ල මායාදුන්න මහා විද්‍යාලයෙන් ද ලබාගත් අතර, 1969 අගෝස්තු මස 20 වැනි දින කහහේන සුසිරිවර්ධනාරාමාධිපති මාවතගම පේමානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස උඩමාපිටිගම ගංගාරාමාධිපති බැරැණ්ඩිගම්පළ කල්‍යාණතිස්ස නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උතුම් වූ ශාසනික පැවිද්දට පත්වූහ. ඉන්පසු කහහේනේ මේධානන්ද සාමණේරයන් වහන්සේ පැවිදි අධ්‍යාපනය සඳහා යොමුකරනු ලැබුවේ එවකට කීර්තිමත් විද්‍යස්ථානයක් වූ කොළඹ මාළිගාකන්ද පිරිවෙනටය. එහිදී කළුකොඳයාවේ ප්‍රඥාශේඛර මහනාහිමිපාණන් වහන්සේ ඇතුළු විද්වත් ආචාර්ය මණ්ඩලයක් යටතේ සිංහල, පාලි, සංස්කෘත ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ආදී පැවිදි දිවියට අවශ්‍ය අධ්‍යාපනය ලැබූ අතර, 1973 වසරේදී සිය ගුරු දේවයන් වහන්සේ බලවත් ලෙස අසනීප වූයෙන් අධ්‍යාපන කටයුතු නවතා විහාරස්ථානයට පැමිණ ගුරු දේවයන් වහන්සේට ගිලන් උවටැන් කරමින්ද විහාරස්ථානයෙහි සහ ප්‍රදේශයේ ජාතික ආගමික සාමාජීය කටයුතුවලට අවතීර්ණ වූහ.

1975 මැයි මස 20 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේදී උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූහ. 1982 වර්ෂයේ සිට සීතාවක ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් තනතුරට පත්ව වසර 10ක වටිනා සේවාවක්ද 2002 වර්ෂයේ පටන් ප්‍රධාන සභාපති වශයෙන් වසර 15ක උදාර සේවාවක් ප්‍රදේශයේ ශාසනික සහ බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් සිදු කළහ. ආරම්භයේ පටන් කහහේන ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයාද විය.

මෙම උදාර සේවාවන් අගයමින් 1975 වර්ෂයේදී ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව විනය කීර්ති ශ්‍රී කල්‍යාණතිස්ස යන ගෞරව නාමය සහිතව මීගමු පළාත් සහිත සිනාදි සිව් කෝරළයේ විශේෂ අධිකරණ සමථ බල සම්පන්න ද්විතීය සංඝනායක පදවිය පිරිනැමූහ. මෙලෙස එම නායකත්වය තුළින්ද මුළු පළාතටම මහඟු සේවවක් සිදු කළ උන්වහන්සේ අනපේක්ෂිත අයුරින් හදිසියේ රෝගාතුරව රෝහල්ගත කෙරිණි. ක්‍රමයෙන් රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය ප්‍රකට කරමින් කොළඹ ජාතික රෝහලේදී පසුගිය 28 වැනි දින උන්වහන්සේ අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (02) කහහේන, නෙළුවත්තුඩව ක්‍රීඩාංගණයේදී ගෞරවාන්විතව සිදු කිරීමට දායක සභාව සහ ශිෂ්‍ය පිරිස කටයුතු යොදා ඇත. කහහේනේ මේධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම්වූ නිවන් සුව ලැබේවා.