ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ එක්දින තරගයේදීත් නවසීලන්තය පරදවති

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල ඊයේ සහභාගිවූ දෙවැනි තරගයෙන් නවසීලන්ත සංවර්ධන කාන්තා පිල පරදවා ලකුණු 55ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.

බ්‍රිස්බේන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 42කදී ලකුණු 159ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තයට ඕවර 35.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 104ක් පමණි.

මේ සංචාරයේ පැවති තුන්කොන් විස්සයි20 තරගාවලියේදී නවසීලන්ත පිල දෙවරක් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබිණි.

නවසීලන්ත ආරම්භක පිතිකාරිනියන් යුගලය ඇතුළු පිතිකාරිනියන් තිදෙනකු ලකුණු ලබා ගැනීමට පෙර පළමු ඕවරයෙන් දවා ගැනීමට චමෝදි ප්‍රබෝදා සමත් වූ අතර, ඇබී ට්‍රෙඩර් ලකුණු 29ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. කේට් අර්වින් ලකුණු 26ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී චමෝදි කඩුලු 4ක් බිඳ දැමූවාය. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් පළමු වරට කැඳවූ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වූ ලිමංසා තිලකරත්න කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සුමුදු නිසංසලා ලකුණු 34ක්, විමෝක්ෂා බාලසූරිය සහ රශ්මිකා සෙව්වන්දි ලකුණු 29ක් බැගින් රැස් කළහ.

මේ තරගයත් සමඟ ශ්‍රී ලංකා පිලේ තරග නිමා වූ අතර, එක්දින තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල සත්කාරක ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 8කින් පරාජයට පත් විය. එම තරගයේදී රශ්මිකා සෙව්වන්දි නොදැවී ලකුණු 56ක් රැස් කළාය.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා පිල – 159 (ඕවර 42) සුමුදු නිසංසලා 34, විමෝක්ෂා බාලසූරිය 29, රශ්මිකා සෙව්වන්දි 29, ලිමංසා තිලකරත්න 14, චමෝදි ප්‍රබෝදා නොදැවී 12 (රිෂිකා ජස්වාල් 43/3, කේට් අර්වින් 21/2, ලුයිසා කොට්කැම්ප් 22/2)

නවසීලන්ත සංවර්ධන කාන්තා පිල – 104 (ඕවර 35.2) ඇබී ට්‍රෙඩර් 29, කේට් අර්වින් 26, ටැෂ් වේකලින් 18 (චමෝදි ප්‍රබෝදා 24/4, ලිමංසා තිලකරත්න 31/3)