වසර ගණනාවකට පසු ටෙස්ට් බිමේ ජයග්‍රාහී මාවත ශ්‍රී ලංකා පිල සොයා ගනියි

පිට පිට තරග 6කදී කාසියේ වාසිය දිනාගත් නායක ධනංජය රහස හෙළි කරයි

ටෙස්ට් තරගවලින් ජයග්‍රහණය ලබා ගැනීමේ ක්‍රමවේද කාලයක් තිස්සේ විවිධ ආකාරයෙන් ක්‍රියාවට නැංවුවද, වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිඩකයින් එම ජයග්‍රාහී මාවත සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසයි. පිට පිට තරග 6කදී කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝක ටෙස්ට් ශූරතාවලියේ තවදුරටත් තෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූහ.

අත්දැකීම් සහිත ක්‍රිඩකයින් පමණක් නොව, නවකයින් ද අවස්ථාවට උචිත ආකාරයෙන් කල්පනාකොට පන්දුවට පහරදීමෙන් තරග ජයග්‍රහණය කොට ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමේ හැකියාව ලබා ඇතැයි නවසීලන්තය සමඟ පෙරේදා නිමාවූ ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනංජය ද සිල්වා පැවැසීය.

“වසර 6ක තිස්සේ මම කණ්ඩායමේ ඉන්නවා. අපි හැමෝටම උවමනාවක් තිබ්බා තරග දිනලා ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට එන්න. ඒ වෙනුවෙන් අපි බොහෝ දේ කළා. නමුත් ඉදිරියට එන මාවත හොයා ගන්න බැරි වුණා. මා හිතනවා දැන් අපි ක්‍රීඩා කරන ක්‍රිකට් අනුව ශ්‍රී ලංකාව තුලත් ඉන් පිටතත් තරග දිනන්න පුලුවන් බව. ඒ ලබාගත් සාර්ථකත්වය ගැන කණ්ඩායමක් හැටියට සතුටට පත් වෙනවා“ ධනංජය ද සිල්වා පැවැසීය.

“අපේ පසුපෙළ අය දක්ෂතා දැක්වීම ඉතාම හොදයි. ඒ වගේම එළියේ ඉන්න අය හොදට ක්‍රීඩා කරද්දී කණ්ඩායමේ ක්‍රීඩකයින් තැන ආරක්ෂා කිරීමට හොඳින් ක්‍රීඩා කරනවා. ඒ නිසා තරගකාරීත්වයක් ඇතිවීම හොද දෙයක්. අපේ පිතිකරුවන්ගේ ලකුණු සාමාන්‍ය දැන් එන්න එන්නම හොදයි. අපි බලන්නේ එක තරගයකින් තවත් තරගයකට පමණයි . බොහෝ ඉදිරියෙන් බැලුවහොත් වැදගත් වන දේ මග හැරිය හැකියි. තරුණ ක්‍රීඩකයන්ටත් මම නිතරම කියන දෙයක් තමයි එක තරගයකින් තවත් තරගයකට අවශ්‍ය දේ කළොත් සාර්ථකයි කියලා“

ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබාගත් අතර, එහිදී තරගය අත්හිටුවීමට තීරණය කළ අවස්ථාවේ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් ලබා ගෙන මංගල ද්විත්ව ශතකයකට ලකුණු 18ක් අඩුවෙන් සිටියේ ය. ඔහු ඒ වන විට ඉක්මණින්ම ටෙස්ට් ලකුණු 1000 සීමාව පසු කිරීමේ ලෝක වාර්තාව බිහි කළේය. මේ පිළිබඳ අදහස් දක්වමින් නායක ධනංජය සඳහන් කළේ කමිඳුගේ ලකුණු 200ට වැඩිය කුසල් මෙන්ඩිස්ගේ 100 පිළිබඳ අවධානය යොමු කළ බවය.

“කුසල් සෑහෙන්න කාලයකින් 100ක් ගහලා තිබ්බේ නෑ. එයාගේ 100ට යනකන් ඉදලා, කමිඳුගේ තව රෙකෝඩ් එකක් තිබ්බා ඒකත් වුණාම තමයි තරගය අත්හිටුවූවේ. ඒ වේලාවේ ගන්න පුළුවන් හොඳ තීරණය ඒක තමයි. ඒ තීරණය ගැන පසුතැවෙන්නේ නෑ ”

ඒ අවස්ථාවේ කමිඳු මෙන්ඩිස් වෙනුවෙට දිමුත්, දිනේෂ්, ඇන්ජලෝ වැනි ක්‍රීඩකයින් පිටියේ සිටියානම් එම තීරණයේ වෙනසක් වෙනවා දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ධනංජය “මම මුලින්ම කණ්ඩායම ගැන තමයි හිතන්නේ. මොකද කමිඳුට යන්න පුලුවන් රෙකෝඩ් එකක් තිබ්බා. තව ඉදිරියටත් රෙකෝඩ් තියන්න පුළුවන්“ යනුවෙනි.

මේ සම්බන්ධයෙන් කමිඳු මෙන්ඩිස්ගේ අදහස වූයේ දිවා විවේකයෙන් පසු නවසීලන්ත පිතිකරුවන් කැඳවා කඩුලු කිහිපයක් දවා ගෙන පීඩනයක් ලබාදීම කල් ඇතිව සැලසුම වූ බවයි.

“ලන්ච් එකෙන් පස්සෙත් අපේ ප්ලෑන් එක තිබ්බේ පොඩි වෙලාවක් ගහලා නවසීලන්තයට දෙනවා කියලා. මං ටීම් එක වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරනවා. මම හිතනවා නායකයා ගත් ඒ තීරණය හරි වේලාවේ දී ගත්තේ. මොකද අපි හවස ඇත්තටම විකට් 2ක් ගත්තා. ගාල්ලේ අන්තිම පැයේ බැට් කරන ටීම් එකට සෑහෙන්න අමාරුයි කඩුල්ල ආරක්ෂා කරගෙන ඉන්න“ කමිඳු මෙන්ඩිස් පැවැසීය.

නිශාන් පීරිස් සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 9ක් දවාලීමට සමත් විය. 27 හැවිරිදි පිට දඟ පන්දු යවන්නා කණ්ඩායමට ශක්තියක් වූයේ ඔහුගේ විශේෂ දක්ෂතා හේතුවෙන් බව ධනංජය පැවැසීය. “නිශාන් සෑහෙන කාලයක් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳින් පන්දු යවා තිබුණා. මට අවශ්‍ය වුණේ ලකුණු අඩුවෙන් දී කඩුලු දවා ගන්නා පන්දු යවන්නෙක්” ධනංජය පැවසීය.