ටොනාඩෝවකින් විදුහලට හානි-රුපියල් ලක්ෂ 15ක අලාභයක්

හමා ආ විශාල ටොනාඩෝ සුළි සුළඟකින් හලාවත කරුකුපනේ, කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැඟිලි රැසක වහලයට රුපියල් ලක්ෂ 15ක පමණ හානියක් සිදුව ඇතැයි මවුපියෝ පවසති.

ඉකුත් 29 දින සවස් කාලයේ හමා ආ මෙම ටොනාඩෝව හේතුවෙන් පාසලේ ඇස්බැස්ටෝස් හා උළු සෙවිලි කර තිබූ ගොඩනැගිලි කිහිපයක වහලය මෙලෙස සුළඟට ගසාගෙන ගොස් හානි සිදුවී තිබිණි.

සුළඟ සමඟ ආ වැස්ස හේතුවෙන් පාසලේ පරිගණක ඒකකය හා අනිකුත් පන්තිවලට වැසි වතුර ගලා එමෙන් පරිගණක ඒකකයට හානි සිදුව ඇති බව කියයි. මින් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බවත් පාසලේ සෙවිලි කර තිබූ ඇස්බැස්ටෝ තහඩු මීටර් 50 වැඩි දුරකින් වූ කරුකුපනේ කලපුවට විසිවී ගොස් තිබූ බවත් වාර්තා වෙයි. පාසලේ විදුහල්පති අසිත ඒකනායක මහතා පවසා සිටියේ මේ හානිය පිළිබඳව ඉහළ බලධාරීන් දැනුම්වත් කර ඇති බවය.