ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික සාත්තු සේවයේ නිරත 304කට NVQ 3 සහ 4 නිල සහතික පත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික සාත්තු සේවක සේවිකාවන් 304 දෙනෙකු වෙනුවෙන් පැවැති NVQ 3 සහ 4 මට්ටමේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයේ නිල සහතිකපත් ප්‍රදානය ඊශ්‍රායලයේ දී පවත්වා තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ එක්ව NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්)3 සහ 4 මට්ටමේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණය ඊශ්‍රායලයේ දී සාර්ථකව සංවිධාන කරන ලද අතර, මේ විභාග පසුගිය ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා පැවැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික සාත්තු සේවක සේවිකාවන්ට ඔවුන්ගේ කුසලතා ඉහළ නැංවීමට සහ ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් ලබාගැනීමට එය කදිම වේදිකාවක් වී තිබෙන අතර, විභාගවලින් පසුව ටෙල් අවිව්හි ඊශ්‍රායල සංගීත කලාගාර ශාලාවේ දී සහතිකපත් ප්‍රදානෝත්සවය පවත්වා තිබේ.

මේ උත්සවයට වියට්නාම තානාපති, එච්.ඊ. ලයි ඩූ ට්‍රන්ග්, රුවන්ඩා තානාපති එච්.ඊ. ජේම්ස් ගෙටේරා, කෙන්යා ජනරජයේ තානාපති එච්.ඊ. ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ඇල්බට් කෙන්ඩගෝර්, චීනයේ වැඩබලන තානාපති ලියු සොන්ග්, මියන්මාරයේ වැඩබලන තානාපති යව් මින්, රාජකීය තායිලන්ත තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති චුල්වත් නරින්තරංගුර සහ නේපාල තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කුමාර් බහදූර් ශ්‍රෙස්තා මහත්වරුන් එක්ව ඇත.

ඊට අමතරව, හයිෆා සහ උතුරු ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්, ආචාර්ය ඇනට් බර්න්ස්ටයින්-රීච්, ඊශ්‍රායල අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු පුහුණු හර්වේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නියෝමි පැගීර්, එම්. එනට් වෙස්බොර්ට්, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහත්ම මහත්මීන් සහ කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවට එක්වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ මේ වැඩසටහනේ වැදගත්කම අවධාරණය කර තිබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටත මෙවැනි කටයුත්තක් සම්බන්ධීකරණය කළ පළමු අවස්ථාව මෙය බවයි.

මේ වැඩසටහනේ මූලික පරමාර්ථය වූයේ සාත්තු සේවක සේවිකාවන්ගේ වෘත්තීය අපේක්ෂාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය භාවිතයෙන් ඔවුන්ගේ කුසලතා තක්සේරු කිරීම සහ වැඩිදියුණු කිරීම බව ද අන්‍යෝන්‍ය වර්ධනය සහ ඉගෙනීමේ අවස්ථාව පුළුල් කිරීම බව ද පෙන්වා දී තිබෙන තානාපතිවරයා මේ සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට තම වෘත්තීය පුහුණු ජයග්‍රහණ වෙනත් රටවල් සමඟ බෙදාගත හැකි බව ප්‍රකාශ කරමින් දකුණු – දකුණු සහයෝගිතාවයේ වැදගත්කම ද අවධාරණය කර ඇත.

නිර්වේතනික කොන්සල් ආචාර්ය ඇනට් බර්න්ස්ටයින්-රීච් මහතා ශ්‍රී ලංකාව සිය ශ්‍රමිකයන් විදේශයන්හි සේවයේ යෙදවීමෙන් පසුව ද ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට දක්වන කැපවීම අගය කර තිබේ. ශ්‍රී ලංකාව විදේශ රැකියා හැකියාවන්හි ශ්‍රම බළකායේ අඛණ්ඩ සංවර්ධනය සඳහා කැප වූ රටක් ලෙස කැපී පෙනෙන බව ඇය සඳහන් කර තිබෙන අතර, උත්සවයේ දී භාරකරුවන් 304 දෙනා, සහභාගි වූ තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ තානාපති නිලධාරින් වෙතින් ඔවුන්ගේ සහතික ලබාගෙන ඇත. මෙය ඔවුන්ගේ වෘත්තීය ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.