ප්‍රශ්නගත ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේ නෑ-පිටවූ ප්‍රශ්න 3ටම ලකුණු – විද්වත් කමිටුව තීරණය කරයි

පහේ ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනටම සියලු දරුවන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අදාළව පත්කෙරුණු විද්වත් කමිටුවේ නිර්දේශ මත මේ තීරණය ගෙන තිබෙන අතර මවුපියන්ගෙන් මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව විභාග දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳ කඩිනම් විමර්ශනයක් ඇරඹීය. පසුගිය සැප්තැම්බර් 15 වනදා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර සාකච්ඡා කෙරී ඇති බවට පසුගිය දිනවල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.

පසුගිය 15 වන දින පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ඇතුළත් ප්‍රශ්න විභාගයට කලින් සාකච්ඡා කරන ලදැයි ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව වහාම විමර්ශන ආරම්භ කරන ලද අතර එම විමර්ශනවල දී අනාවරණය වූයේ පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න ඇතුළත් ලේඛනයක් විභාගයට පෙර සාකච්ඡා කර ඇති බවත්, එය පෙර දින සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බවත්ය.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව එම මූලික පරීක්ෂණ වාර්තාව පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ පරීක්ෂණවලින් අතුරු වාර්තාවක් අධ්‍යාපන ලේකම් වෙත ඉදිරිපත් කර තිබෙන අතර එම වාර්තාව මඟින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ ලේඛනය විභාගයට පෙර සාකච්ඡා කර ඇති බවත්, ඒ අනුව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිට වී ඇති බවත් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු අනෙකුත් පැමිණිලි විමර්ශනයට ලක්කළ අතර මීට අමතරව ප්‍රශ්න පිට වී ඇති බවක් තහවුරු නොවන බවද අධ්‍යාපන විෂය භාර ඇමැතිවරියගේ උපදෙස් මත මෙම ගැටලුවට ලබාදිය හැකි විසඳුම් ක්‍රියාමාර්ග පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන ලේකම් මඟින් අධ්‍යාපන විෂය භාර ඇමැතිවරියට ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව අධ්‍යයනය කර, ගතයුතු වඩාත් සුදුසුම ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා දේශීය හා විදේශීය විශේෂඥ කමිටුවක් අධ්‍යාපන විෂය භාර ඇමැතිවරිය විසින් පත්කරන ලදි. එම කමිටුව අධ්‍යාපනඥයින්, අධ්‍යාපන මනෝවිද්‍යාඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් හා සංඛ්‍යානය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත වූහ.

විභාගය නැවත පැවැත්වීම අවුරුදු 10ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් හා පීඩාවක් ඇති කරන බවත්, දරුවන් සියලු දෙනාට සාධාරණයක් ඉටු කිරීම අත්‍යාවශ්‍ය බවත්, වඩාත් සුදුසුම විකල්පය ලෙස විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බවත් එකී විද්වත් කමිටුව විසින් නිර්දේශ කර ඇත.

එමෙන්ම විභාගය නැවත පැවැත්වීම ගුරුවරුන්ටත්, දරුවන්ගේ මවුපියන්ටත් පාසල් පද්ධතියටත් දැඩි පීඩාවක් ගෙනදෙන බව කමිටුව වැඩිදුරටත් පෙන්වා දී තිබෙන අතර ඒ අනුව, එම විද්වත් කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියාකිරීමට තීරණය කළ බව ඒම අමාත්‍යාංශය කියයි. එසේම ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කර අප්‍රමාදව ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවද අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.