කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අති විශාල ජන ගඟක්

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා අති විශාල පිරිසක් පසුගිය දින තුළ පැමිණි බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි. පසුගිය 27 වැනිදා ඇරඹුණු මෙම ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශන ආයතන 400ක ප්‍රදර්ශන කුටි එක් කර ඇති අතර මෙවර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පෙරේදා (28) සහභාගි විය.

මෙම පොත් ප්‍රදර්ශනය මේ මස 27 වැනිදා සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැවැත්වෙන අතර එහි දී පොත් මිල දී ගන්නා පාඨක ජනතාවට ආකර්ෂණීය වට්ටම්ද සමඟ එම පොත් අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ. මීට අමතර විවිධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු, සාහිත්‍ය මණ්ඩප, ලේඛක – පාඨක හමුවීම් ඇතුළු තවත් සුවිශේෂී වූ අංග රැසකින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වී තිබෙන බව ද එම සංගමයේ ප්‍රකාශකයකු ඊයේ (29) දිනමිණට පැවැසීය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මෙවර මෙම පොත් ප්‍රදර්ශනය සංවිධාන කර ඇත්තේ 25 වැනි වරටය.