නව අමාත්‍යාංශවලට අයත් ආයතන-විෂයපථ ගැසට් කෙරේ

නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂයපථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරන ගැසට් නිවේදනය පසුගියදා (27) ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව රජයේ කෙටි කාලීන කැබිනට් මණ්ඩලය ද පසුගියදා පත් කරනු ලැබීය.

ඒ අනුව ජනාධිපතිවරයාට අයත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 26ක්ද, මුදල් ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය යටතේ 62ක්ද, බලශක්ති අමාත්‍යාංශය යටතේ 11ක්ද, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ 35ක්ද නම් කර තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි පාලිත සමාගම්, ලංකා විදුලිබල සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක බලශත්කි අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මිල්කෝ (ප්‍රයිවට්) ලිමිටඩ්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ලංකා ධීවර සංස්ථාව ආදී ආයතන ගණනාවක් එම අමාත්‍යාංශවලට අයත් වේ.

අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය යටතේ ඇති අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ යටතේ ආයතන 38ක්ද, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශ යටතේ ආයතන 45ක්ද, කාන්තා, ළමා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ යටතේ ආයතන 15ක්ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ යටතේ ආයතන 41ක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ආයතන 26ක්ද නම් කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ගුරු විද්‍යාල, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, ජාතික ක්‍රීඩා විද්‍යායතනය, වාණිජ දෙපාර්තමේන්තුව, සීමාසහිත ලංකා සතොස, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව, ජාතික සෞඛ්‍ය සභාව, සියලුම ජාතික, ශික්ෂණ හා නිශ්චිත රජයේ රෝහල්, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ තවත් ආයතන ගණනාවක් අයත්වේ.

විජිත හේරත් ඇමැතිවරයා යටතේ තිබෙන බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ යටතේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 53ක්ද, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ යටතේ 17ක්ද, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ 06ක්ද, විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ 03ක්ද, පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ යටතේ 48ක්ද, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශ යටතේ 15ක්ද නම් කර තිබේ. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තු, මහා භාරකාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ජාලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, සීමාසහිත ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම, සීමාසහිත ශ්‍රී ලන්කන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම්, ශ්‍රී ලංකා පොලිසිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ආදී ආයතන අයත් වේ.