සයිබර් ආරක්ෂාව ගැන රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමක්

සයිබර් ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් මෙහෙයවනු ලැබූ වැඩසටහනක් පසුගියදා (26) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සයිබර් තර්ජනවල පසුබිම විස්තර කිරීම, ඒ හා සම්බන්ධයෙන් කරන ලද සිද්ධි අධ්‍යයනයන් පිළිබඳව පැහැදිලි කිරීම, සයිබර් තර්ජනවල පොදු ස්වභාවය පිළිබඳව දැනුම්වත් කිරීම, සයිබර් ආරක්ෂාව සඳහා ගත යුතු මුලික ක්‍රියාමාර්ග ආදී වැදගත් අංශ කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ අරමුණින් මේ වැඩසටහන සංවිධාන වූ අතර, අනුරධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

මෙහිදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා මෙලෙස සඳහන් කළේය.

“අන්තර්ජාලය පරිහරණය කිරීමේදී ඇති වන ගැටලු පිළිබඳව රාජ්‍ය නිලධාරීන් අවබෝධයෙන් සිටිය යුතුයි. එසේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඉදිරියේදී විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට පියවර ගන්නවා.”

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සයිබර් ආරක්ෂණ හා ධාරිතා සංවර්ධන පර්යේෂණ කළමණාකරු තිළිණ දිසානායක, ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ ආනන්ද, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු සෙනුර රත්නායක යන මහත්වරුන් විසින් මේ වැඩසටහන මෙහෙය වන ලදි.

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමආරච්චි, සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න මහත්ම මහත්මීන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තොරතුරු තාක්ෂණ නිලධාරීන්, මුලස්ථාන පොලිසියේ නිලධාරීන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත් සභාව හා රජරට විශ්වවිද්‍යාලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ දැනුම්වත් කිරීමේ වැඩසටහනට සහභාගි වූහ.