මද්‍යසාර නිසා රෝගී වූවන් වෙනුවෙන් රජය බිලියන ගණනක වියදමක්

මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වැය කිරීමට සිදු වන සෞඛ්‍ය සහ ආර්ථික වියදම වසරකට රුපියල් බිලියන 237ක් බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සදහන් කරයි.

ඔක්තෝබර් 3 වැනිදාට යෙදී ඇති ලෝක මද්‍යසාර නිවාරණ දිනය වෙනුවෙන් ADIC ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම් මහතා නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ.

මද්‍යසාර භාවිතය නිසා ලොව පුරා වසරකට පුද්ගලයන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මරණයට පත් වේ.ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණ වලින් 10න් 8කටම හේතුවක් වන්නේ බෝ නොවන රෝග(NCD) වන අතර බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1 ක් ලෙස මද්‍යසාර භාවිතය පෙන්වා දිය හැකිය.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආර්ථිකමය, සෞඛ්‍යමය හා සමාජීයව ගැටලු රාශියකට රටක් වශයෙන් අපට මුහුණදීමට සිදුවී ඇත. මද්‍යසාර භාවිතය නිසා දිනකට ශ්‍රී ලාංකිකයක් 50කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් වන අතර වසරකට 15000 ත් 20000ත් අතර ප්‍රමාණයක් මරණයට පත් වේ. එමෙන්ම මද්‍යාසර යනු රටකට ආදායමක් නොවන බව ඉතා පැහැදිලි ය. එනම්, 2022 වසරේ මද්‍යසාර සුරා බදු නිසා රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 165ක් වුවද එක්සත් ජාතීන්ගේ සංවර්ධිත අරමුදල(Source – Investment Case For Alcohol Control In Sri Lanka 2022- UNDP) මගින් 2023 වසරේ සිදුකරන ලදඅධ්‍යයනයකට අනුව මද්‍යසාර භාවිතය නිසා අප රටට දැරීම‌ට සිදු වී ඇති සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237ක් බව අනාවරණය වී ඇත. එමගින් විද්‍යමාන වන්නේ සුරාබදු වලින් ලබාගන්නා ආදායමට වඩා මද්‍යසාර මගින් ඇති කරන සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය ඉතා ඉහළ බවයි.

2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (NATA) මගින් මද්‍යසාර සහ දුම්කොළ ප්‍රචාරණයන් අපේ රටේ තහනම් කර ඇත.රට තුළ ඇති නිතී උල්ලංඝනය කරමින් මද්‍යසාර සමාගම් සදාචාර විරෝධී අනීතික ආකාරයෙන් මෙම පනත(NATA) උල්ලංඝනය කරමින්ළමුන් සහ තරුණයන්ඇතුළු සමස්ත ජනතාව ඉලක්ක කරමින් මදසාර ප්‍රවර්ධනයන් තව දුරටත් සිදු කරමින් සිටියි. ළමයින් සහ තරුණයින් මද්‍යසාර සමාගම්වල ප්‍රධාන ඉලක්කයක් වන අතර මද්‍යසාර භාවිතය නිසා අකාලයේ මරණයට පත්වන මිනිසුන් වෙනුවට නව පාරිභෝගිකයින් තම භාණ්ඩය වෙත ආකර්ෂණය කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

ජනතාවගේ මද්‍යසාර භාවිතය අවම වීම සමස්ථ රටේම සුභ සිද්ධියට හේතු වේ. සෞඛ්‍ය වියදම අවම වීමටත්, ප්‍රජාව සෞඛ්‍ය සම්පන්න වීමටත්,පවුල තුළ සතුට, සමගිය වර්ධනය වීමටත් මද්‍යසාර භාවිතය අවම වීම හේතු වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මද්‍යසාර බදුකරණය සහ මිල නියම කිරීමේ ප්‍රතිපත්ති, විද්‍යාත්මකවසනාථ කර ඇති වඩාත්ම ඵලදායී හා ලාභදායී මද්‍යසාර පාලන පියවර අතර වේ. එනම් සුරා බදු වැඩිවීම තුළින් ජනතාවගේ මද්‍යසාර භාවිතය අඩුවීමත්, සුරාබදු වැඩි කිරීම තුළින් රජයේ ආදායම් වැඩි කරගැනීමට හැකි වීමත්යන කාරණා දෙකම එකවර සිදුවී තිබේ.

පසුගිය වසරවල සුරාබදු වාර්තා අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ පසුගිය වසරක කාලය තුළ 34%කින් මද්‍යසාරසුරාබදු වැඩි කිරීම තුළින් රටේ සුරාබදු ආදායමද වැඩිවී ඇති බවයි. 2022 වසරේ සුරාබදු ආදායම රුපියල් බිලියන 165.2ක් වූ අතර 2023 වසරේ සුරාබදු ආදායම බිලියන 181.10ක් වේ. ඒ අනුව නියමිත මිල සූත්‍රයකට අනුව මද්‍යසාර සුරා බදු අය කරගැනීම හරහා මද්‍යසාර භාවිතය අවම කිරීමටත්, රජයේ ආදායම වැඩි කර ගැනීමටත්, මද්‍යාසාර භාවිතය අවම වීමත් සමග මද්‍යසාර නිසා රෝගී වූවන් වෙනුවෙන් වැය කිරීමට සිදු වන සෞඛ්‍ය සහ ආර්ථික වියදම් අවම කර ගැනීමටත් හැකියාවක් ඇත. එමෙන්ම මද්‍යසාර භාවිතය ආරම්භ කිරීම අවම කිරීම සඳහා ද එය ප්‍රත්‍යක්ෂ පියවරක් බව සම්පත් ද සේරම් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.