ජනපති අනුරට ඡන්දය දුන් ජනතාව එක්වී කුරුණෑගල ශ්‍රමදානයක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලක්ෂ හතළිහක් පමණ ඡන්දය ලබා දෙමින් අභිනව ජනාධිපතිවරයා පත්කිරීමට දායක වුණු ජනතාව එක්ව කුරුණෑගල ස්ථාන ගණනාවක ඊයේ (29) පවිත්‍රතා කටයුතු ආරම්භ කළහ.

නව සමාජ ක්‍රමයක් සඳහා මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුත්තේ තමාගේ වටපිටාවත් වෙනස් කර ගනිමින් බව සඳහන් කරමින් වල්බිහි වී ඇති මංමාවත්, සුසානභූමි, ක්‍රීඩා පිටි, වැව් අසබඩ පිරිසුදු කිරීම ජනතාවගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.

එකම දවසේ ස්ථාන ගණනාවක පිරිසුදු කිරීම් ආරම්භ කළ අවස්ථාට පක්ෂ භේදයකින් තොරව සෙනසුරාදා නිවාඩු දින රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ වෘත්තිකයෝ මෙම පවිත්‍රතා ශ්‍රමදානයට එක්ව සිටියහ.

නව ජනාධිපතිවරයාගේ දැක්මත් සමඟ ඔහුට මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමට සහයෝගය පළ කළ යුතු බව ඔවුන්ගේ අදහස විය. ශ්‍රමදානයට සම්බන්ධ වී සිටි නීතිඥ ලයිනල් පටබැඳි මහතා කියා සිටියේ ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් යොදාගෙන දින ගණනාවක් ඔවුන්ට වැටුප් ගෙවමින් කළ යුතු මේ කටයුතු ජනතාවගේ එකමුතුකමින් කරන්නටත් ප්‍රාදේශීය නායකයන්ගේ සහයෝගය සහ නායකත්වය බලපාන බවය.

ඔවුන්ගේ ඒ ක්‍රියාදාමය අගය කරමින් එම වැඩ කටයුතු සොයා බැලීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න මහතා සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහත්වරු පැමිණියහ.