පැයට කිලෝමීටර් 225ක වේගයෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදුණු හෙලන් සුළි කුණාටුවෙන් නගර රැසක නිවාස හා මහාමාර්ගවලට දැඩි විනාශයක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයන් විසින් සිව්වැනි මට්ටමේ සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණය කළ හෙලන් සුළි කුණාටුවේ බලපෑමෙන් අධික වර්ෂාවත්, ගොඩබිමට කඩා වදින මුහුදු රැලි අඩි 20ක් පමණ ඉහළ නැඟීමත් හේතුවෙන් පළාත් රැසක් ජලයෙන් යටවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. හෙලන් සුළි කුණාටුවේ බලපෑම් මත ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලියන 1.28ක ජනතාව විදුලිය විසන්ධි වීමෙන් දුෂ්කරතාවට පත්ව සිටින බව ද වාර්තා වේ.
මේ තත්ත්වය හේතුවෙන් ජෝර්ජියා, කැරොලිනා, වර්ජිනියා සහ ඇලබාමා ප්‍රාන්තවලට හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත්කර ඇති බවත්, විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා ආපදා කළමනාකරණ කණ්ඩායම් අදාළ පළාත්වල ස්ථානගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.