විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස්දහසක් පෞද්ගලික සමාගම් දෙකකින් මිලදී ගැනීමට පසුගිය ආණ්ඩුව ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් කරන ලදි.
එම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට එරෙහිව ‘එපික් ලංකා පුද්ගලික සමාගම’ ගොනුකළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඉකුත් 26 වැනිදා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි. ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා බලපැවත් වෙන පරිදි එම නියෝග නිකුත් කරන ලදි. අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .
එහිදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා සඳහන් කළේ පෞද්ගලික සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීම සඳහා ආණ්ඩුව තීරණය කර ඇති බවයි. ඒ සඳහා වන කැබිනට් මණ්ඩල තීරණය ඉකුත් සැප්තැම්බර් මස 2 වැනිදා ගෙන ඇති බව ඒ මහතා කීය.
මෙම ගමන් බලපත්‍ර තොගය මිලදී ගැනීමේ දී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර තීරණය කර නැති බව පෙන්වා දුන් ජනාධිපති නීතීඥවරයා එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය. ඒ අනුව අදාළ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඉහත අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.