- පළමු තරග 8කදී ලකුණු 50ට වැඩියෙන් ලැබීම:
- අඩුම තරග ගණනකදී ලකුණු 1000ක් පසු කිරීම
සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව මුල් ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා ඊයේ පළමු ඉනිම අත්හිටුවූ අතර, නවසීලන්තය ඊයේ දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටි හෙයින් පළමු ඉනිමේ කඩුලු 8ක් අතැතිව ලකුණු 580ක් පිටුපසින් සිටී.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම දෙවැනි ටෙස්ට් තරගය නිමා වීමට අද දිනය ඇතුළුව තවත් දින 3ක් ඉතිරිව ඇති හෙයින් නවසීලන්තයට පරාජයෙන් බේරීම සඳහා විශාල සටනක නිරත වීමට සිදුව ඇත.
මේ දක්වා සහභාගි වූ පළමු ටෙස්ට් තරග 8කදී ලකුණු 50ට වැඩියෙන් ලබා ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට නව ලෝක වාර්තාවක් පෙරේදා එක් කළ කමිඳු මෙන්ඩිස් ඊයේ වසර 99ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දැමුවේය. එබැවින් මේ තරගයේදී කමිඳු ලෝක වාර්තා දෙකක් බිඳහෙළීම විශේෂත්වයක් විය.
ලෝක ටෙස්ට් ක්‍රීඩාවේ අඩුම තරග ගණනකදී වේගයෙන් ලකුණු 1000ක් පසු කළ ලොව පළමු ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තාව පිහිටුවූ අතර, 1925දී ඔස්ට්‍රේලියාවේ හර්බට් සට්ච්ක්ලිෆ් තම 9 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 1000 පසු කොට තිබූ වාර්තාව මැකී ගියේය. කමිඳු සිය 8 වැනි ටෙස්ට් තරගයේදී ඊයේ ලකුණු 1000 පසු කළ අතර, නොදැවී ලකුණු 182ක් ලැබීමත් සමඟ ශ්‍රී ලංකා නායකයා ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එවිට අනෙක් අන්තයේ සිටි කුසල් මෙන්ඩිස් තම 10 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කොට පන්දු 149කදී හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 106ක් ලබා සිටියේය.
කමිඳු මෙන්ඩිස් සිය 13 වැනි ටෙස්ට් ඉනිමේදී පස්වැනි ටෙස්ට් ශතකය ලබා ලොව අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩක සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අඩුම ඉනිම ගණනකදී තබා තිබූ ශතක වාර්තාවක් සම කිරීමට සමත් විය. ටෙස්ට් ඉනිම 10කදී ටෙස්ට් ශතක 5ක් කොදෙව් ක්‍රීඩක එවරටන් වික්ස්, ඉනිම 12කදී එංගලන්තයේ හර්බට් සුට්ක්ලිෆ් හා ඔස්ට්‍රේලියාවේ නීල් හාවී ටෙස්ට් ශතක 5ක් වාර්තා කළහ.
ශ්‍රී ලංකා ඉනිම පුරා ශතක සබඳතා 3ක් වාර්තා වූ අතර, දෙවැනි කඩුල්ලට දිමුත් – චන්දිමාල් පන්දු 229කදී ලකුණු 122ක්, සිව්වැනි කඩුල්ලට චන්දිමාල් – මැතිව්ස් පන්දු 144කදී ලකුණු 107ක් හා 6 වැනි කඩුල්ලට කමිඳු – කුසල් පන්දු 271කදී නොබිඳුණු ලකුණු 200ක් වශයෙන් එම සබඳතා ගොඩනැඟූහ.
පළපුරුදු පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පෙරේදා තරගය නතර කරද්දී නොදැවී ලකුණු 78ක් ලබා සිටි අතර, ඊයේ දිනයේ තවත් ලකුණු 10ක් එක්කොට තිබියදී දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් තම 44 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අතර, පන්දු 185කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 88ක් වාර්තා කළේය. නායක ධනංජය ද සිල්වා දිවා විවේකයට ඔන්න මෙන්න තිබියදී ලකුණු 44කට දවා ගැනීමට නවසීලන්ත පිල සමත් විය.
නවසීලන්තයේ බිඳවැටුණු කඩුලු දෙක වේග පන්දු යැවූ අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය බිඳ හෙළා ගැනීමට සමත් වූහ. ආරම්භක පිතිකරු ටොම් ලෙතම් ලකුණු 2ක් ලබා සිටියදී අසිතගේ පන්දුවකට ගලිහි සිටි පැතුම් නිශ්ශංකගේ අතට උඩ පන්දුවක් ලබාදුන් අතර, කොන්වේ ජයසූරියගේ පන්දුවකට ස්ල්පිහි සිටි ධනංජයගේ අතට උඩ පන්දුවක් දී ලකුණු 9කට දැවී ගියේය. විලියම්සන් නොදැවී ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැඳී සිටී.
අද තරගයේ තෙවැනි දිනයයි.
ශ්‍රී ලංකා පළමු ඉනිම
පැතුම් නිශ්ශංක ඇ.බ්ලන්ඩෙල් ප.සවුති 1
දිමුත් කරුණාරත්න දුවද්දි දැවී ගියා 46
දිනේෂ් චන්දිමාල් ප.පිලිප්ස් 116
ඇන්ජලෝ මැතිව්ස් ඇ.ඕ’රූක් ප.පිලිප්ස් 88
කමිඳු මෙන්ඩිස් නොදැවී 182
ධනංජය ද සිල්වා ඇ.බ්ලන්ඩෙල් ප.පිලිප්ස් 44
කුසල් මෙන්ඩිස් නොදැවී 106
අතිරේක 19
එකතුව කඩුලු 5ක් දැවී (ඕවර 163.4) 602 (ඉනිම අත්හිටුවන ලදි)
කඩුලු බිඳ වැටීම: 1-2, 2-124, 3-221, 4-328, 5-402
පන්දු යැවීම: සවුති 19-1-70-1, ඕ’රූක් 17-1-81-0, පටෙල් 41-5-135-0, සැන්ට්නර් 33-5-82-0, පිලිප්ස් 38-4-141-3, රවින්ද්‍ර 12.4-0-54-0, මිචෙල් 3-0-25-0.
නවසීලන්ත පළමු ඉනිම
ටොම් ලෙතම් ඇ.නිශ්ශංක ප.අසිත 2
ඩ්වෙන් කොන්වේ ඇ.ධනංජය ප.ජයසූරිය 9
කේන් විලියම්සන් නොදැවී 6
අජාස් පටෙල් නොදැවී 0
අතිරේක 5
එකතුව කඩුලු 2ක් දැවී (ඕවර 14) 22
කඩුලු බිඳ වැටීම: 1-2, 2-19
පන්දු යැවීම: අසිත 2-0-5-1, පීරිස් 7-1-9-0, ජයසූරිය 5-3-3-1.
****
ශ්‍රී ලංකා පිල 2020න් පසුව 500ට වැඩි ඉනිම් 8ක්
වසර 2020න් පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල තරග 34කට ක්‍රීඩා කොට ඇති අතර, එයින් ඉනිම 8කදී ලකුණු 500ට වඩා වැඩියෙන් වාර්තා කළ එකම කණ්ඩායම වේ. මෙය ලෝක ටෙස්ට් ක්‍රිකට් පිලක් වාර්තා කළ විශේෂ දක්ෂතාවක් වන අතර, එංගලන්තය තරග 58කදී ලකුණු 500ට වඩා වැඩියෙන් වාර්තාකොට ඇත්තේ අවස්ථා 7කදී පමණි.
මෙවර ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ඉදිරියෙන්ම සිටින ඉන්දියාව ලකුණු 500ට වැඩියෙන් රැස් කළ ඉනිම් ගණන 2ක් වන අතර, ඔස්ට්‍රේලියාව එවැනි අවස්ථා 4කට සීමා වී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් පිල වසර 2020න් පසු මේ දක්වා කිසිදු ටෙස්ට් ඉනිමකදී ලකුණු 500ක් ලබා නැත.