උතුරුමැද පළාත් නව ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාද මධ්‍යයේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (27) පෙරවරුවේ යෙදුණ සුබ මොහොතින් වැඩ භාර ගත්තේය.
වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ උතුරු මැද පළාතේ ජනතා අභිලාෂයන් මහ පොළොව මත සාක්ෂාත් කරවීම සහ ජනතාවට වඩාත් සතුටුදායක යහපත් සුන්දර රටක් බිහි කිරීම තම බලාපොරොත්තුව බවයි. නිදහස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බිහි වුණු නිර් ප්‍රභූ බුද්ධිමතුන් මේ රට යන දිසාව පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇති කරගෙන එම දිසාව වෙනස් විය යුතු බවත් නොඑසේ නම් රට අගාධයට යන බවත් තේරුම් ගෙන පැවති රාජ්‍ය පාලන ක්‍රමය වෙනස් කර ජනතාවාදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමේ අභිලාෂයෙන් කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව දේශපාලනය කරන්නට යෙදුණ බවත්, ඒ උත්සාහයේදී විශාල මර්දනයක් ඒ තරුණ පිරිස කෙරෙහි එල්ල වූ බවත් එහෙත් ඔවුන් තම අභිලාෂයන් කිසිසේත් වෙනස් කළේ නැති බවත් කී ඒ මහතා එම අභිලාශයේ තිබුණු අවංක භාවය නිසාම අද වන විට අප ජයග්‍රහණයක් දකිමින් සිටින බව පැවසීය. දැන් කළ යුතු වන්නේ ඒ ජයග්රහණයන් ජනතාවට දීම බවද ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
නව ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක්ද වෙයි.
ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.