හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඊයේ (27) සිට ඉවත් කර ඇත. අදාළ නිලධාරීන්ට වහාම පොලිස් මූලස්ථානය වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව කථානායක, නියෝජ්‍ය කථානායක, විපක්ෂ නායක සහ හිටපු ජනාධිපතිවරුන් හැරුණු කොට මෙතෙක් ආරක්ෂාව ලබාදී තිබුණු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව වහාම ක්රීයාත්මක වන පරිදි මෙලෙස ඉවත්කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හට ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු හා ඇමැතිවරයකුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් හය දෙනකු බැගින් අනුයුක්ත කර තිබිණ. එහෙත් අරගලය සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ලවූයේ යැයි කියන තර්ජන හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හටද සිය ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් හය දෙනකු බැගින් ලබාදීමට තීරණය කෙරිණ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවයකුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් හය දෙනකු මෙන්ම ඇමැතිවරයකුගේ ආරක්ෂාව වෙනුවෙන්ද පොලිස් නිලධාරීන් හය දෙනකු බැගින් ලබාදී තිබිණ. කෙසේ වුවද ඊයේ (27) සිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ඇමැතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි සියලුම ආරක්ෂක නිලධාරීන්ට අදාළ සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් දැනුම් දී ඇත. ඇතැම් ඇමැතිවරුන්ගේ ඉල්ලීම පරිදි යුද හමුදා ආරක්ෂාවද යොදවා සිටි අතර එම නිලධාරීන්ද මේ වනවිට ඉවත් කර ඇත. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට මෙන්ම ආගමික නායකයින් පිරිසකටද මෙලෙස ආරක්ෂක නිලධාරීන් ලබාදී තිබූ අතර ආගමික නායකයින් වෙත ලබාදී තිබූ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අදාළ අංශවල අවධානය යොමුව ඇත.