අගමැතිනිය අධ්‍යාපන බලධාරීන් කැඳවයි-දේශපාලනඥයන් පාසල්වලට ගෙන්වීම නවත්වන්න

– ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමෙන් සිදුවූ අසාධාරණයට දරුවන්ට සාධාරණයක් ඉටු කරන්න
– කොවිඩ් අර්බුදයෙන් බැටකෑ දරු පරපුරේ මානසික ප්‍රශ්නවලට විශේෂ අවධානයක් යෙදවිය යුතුයි

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිටවූ ප්‍රශ්න පිළිබඳව ස්වාධීන විශේෂඥයන්ගේ දායකත්වයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර කඩිනමින් වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඊයේ (26) පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ ඊයේ (26) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව කීවාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙසේද ප්‍රකාශ කළාය.

පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක්. අපේ රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට මේ ආයතන කටයුතු කළ යුතුයි. විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රතිඵල ලබාදීම කඩිනම් කරන්න.

ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රමවේදයක් මගින් සිදුවිය යුතුයි. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා. ඒක එකපාර කරන්න බැරි උනත් පාසල්වලින් මට වාර්තා වෙනවා මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න. මේ පරපුර කොවිඩ්වලටත් මුහුණ දුන්නා. ආර්ථිකය කඩා වැටීම නිසා ඇතිවුණු ගෘහස්ථ ගැටලුවලටත් මුහුණ දුන්නා. මේ ඔක්කොමත් එක්ක එන පරපුරක්. පවුල්වල තියෙන ප්‍රශ්න, ගුරුවරුත් එක්ක තියෙන බැඳීම අඩුවීම වගේ ගැටලු මේ පරපුරේ තියෙනවා.

පාසල් දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩසටහන් ක්‍රමවත් කිරීමත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ක්‍රමවත් සහ පිළිගත් ක්‍රමවේදයකට විනිවිදභාවයෙන් සිදු විය යුතුයි. මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කළ යුතු යැයිද ඇය කීවාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.