ලොකු ඡන්දවල උණුසුමින් ඇල්පිටි පුංචි ඡන්දෙ ඇල්මැරිලා

ජනාධිපතිවරණය පැවත්වීමත්, මහමැතිවරණය පැවත්වීමට දින ප්‍රකාශ වීමත් නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නව සභිකයන් තෝරාගැනීමට ඔක්තෝබර් 26 දින පැවත්වීමට නියමිත ඡන්ද විමසීමේ කටයුතුවල ඇල්මැරුණු ස්වභාවයක් දක්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

පිළිගත් දේශපාලන පක්ෂ 8කින් සහ ස්වාධීන කණ්ඩායමකින් මේ ප්‍රාදේශීය සභා මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් වී සිටින අතර, ඒ අනුව කොට්ඨාස 17 සඳහා කොට්ඨාසයකට අපේක්ෂකයන් 9 දෙනා බැගින් ඉදිරිපත් වී සිටින බැවින් පෙර පැවති මැතිවරණවලට වඩා මෙවර ඉතා උණුසුම් ආකාරයක් ඇති වෙතැයි ජනතාව අපේක්ෂා කළද තවමත් පවතින්නේ බෙහෙවින් ඇල්මැරුණු ස්වභාවයක් බවද ජනතාව පවසති.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයන් ගණන 28ක් වන අතර ඉන් 17ක් ඡන්දයෙන්ද, 11ක් ලැයිස්තුවෙන්ද තෝරාගැනීම සිදු කෙරේ. අවසන් වරට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණයක් පැවත්වූයේ 2019 ඔක්තෝබර් 11 දාය. ඒ මැතිවරණයෙන් කොට්ඨාස සියල්ලේ බලය පොදුජන පෙරමුණට හිමි විය. රට පුරා පළාත් පාලන ආයතන 341න් 340ක ජන්ද විමසීම 2018 පෙබරවාරි 10 දින පැවති අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය එදින පැවැත්වූයේ නැත. ඒ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායමේ නාම යෝජනා පත්‍රය ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒ පෙරමුණේ අපේක්ෂකයන් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අත්හිටුවනු ලැබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ එදා ප්‍රතික්ෂේපවූ නාමයෝජනා පත්‍රයද භාරගෙන ඡන්දය පවත්වන ලෙසයි. මේ තීන්දුව අනුව මාස 20කට පසු එනම් 2019 ඔක්තෝබර් 11 දා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදු කරනු ලැබීය.