ජනපතිවරණයේදී පොදු දේපොළ අවභාවිත පැමිණිලි 1126ක්-ට්‍රාන්ස්පේරන්සි ආයතනය කියයි

පසුගිය ජනපතිවරණයේදී පොදු දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) වෙත පැමිණිලි 1126ක් ලැබුණු බවත් ඒ අතරින් පැමිණිලි 650ක් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත් බවත් එම ආයතනයේ රාජ්‍ය දේපොළ අවභාවිතය වැළැක්වීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක නීතිඥ තුෂාණි කන්දිල්පාන මහත්මිය පවසයි.

මහජන ක්‍රීඩාංගණ, රජයේ කාර්යාල, ගොඩනැඟිලි සහ පාසල් වැනි පොදු පරිශ්‍රයන් අවභාවිතය සම්බන්ධයෙන් පමණක් පැමිණිලි 451ක් වාර්තා වූ බව ද ඇය පැවසුවාය.

මෙවර ජනපතිවරණයට අදාළව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සිදු කළ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් කන්දිල්පාන මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

මෙවර ජනාධිපතිවරණය සාමකාමීව සහ ඉහළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් සහිතව අවසන් වීම ප්‍රශංසනීය බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් සියලු අනුබද්ධ සේවා සපයන්නන්ට ප්‍රසංශාව පළ කරන බවත් ඇය කීවාය.

මෙවර ජනාධිපතිවරණය කරුණු කිහිපයක් නිසා විශේෂ වූ බවත් 2022 වසරේ උග්‍ර වූ ආර්ථික අර්බුදයත් සමඟ සිදු වූ ජනතා අරගලයෙන් පසු පැවැති පළමු මැතිවරණය වීමත් 2023 වසරේ හඳුන්වා දුන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් සොයා බැලුණු පළමු මැතිවරණය මෙය වීමත් ඉන් ප්‍රධාන යැයි කන්දිල්පාන මහත්මිය පැවසුවාය.

ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණයකදී දෙවැනි සහ තුන්වැනි මනාප ගණන් කිරීම ද විශේෂ සිද්ධියක් යැයි ඇය ප්‍රකාශ කළාය.

ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා TISL ආයතනය මැතිවරණ නිරීක්ෂකයන් දෙසිය දෙදෙනෙක් (202) සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යෙදවූ බවත් මැතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා කිරීම සඳහා තවත් නිරීක්ෂකයන් 47 දෙනකු යෙදවූ බවත් පැවසූ කන්දිල්පාන මහත්මිය TISL ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු නිරීක්ෂකයන් 244ක් මැතිවරණ දින නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගි වූ බව ද අවධාරණය කළාය.

මැතිවරණයට අදාළව බරපතළ ගණයේ ප්‍රචණ්ඩක්‍රියා හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තා නොවූ බවත් TISL ආයතනයේ නිරීක්ෂකයන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 112ක් මැතිවරණ දිනයේදී වාර්තා කර තිබුණු බවත් ඇය පැවසුවාය.

ඒවායින් බොහොමයක් නීති විරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳ සුළු සිද්ධීන් වූ බවත් පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය, පොදු දේපොළ අවභාවිතය ආදි වූ මෙම නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ පොලිසියට හා ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන්ට වාර්තා කිරීමෙන් පසු ඒවා නිවැරදි කිරීමට අදාළ බලධාරීන් කඩිනම් පියවර ගත් බවත් ජාතික සම්බන්ධීකාරකවරිය කීවාය.

ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කිරීම ඉහළ මට්ටමක (මැතිවරණ කොමිසමේ ඇස්තමේන්තු අනුව 75%ත් – 80%ත් අතර) පැවැතීම ප්‍රශංසනීය යැයි ද මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය කෙරෙහි ඡන්දදායකයන්ගේ ඇති උද්‍යෝගය සහ විශ්වාසය පෙන්නුම් කරන්නක් යැයි ද ඇය ප්‍රකාශ කළාය.