මින් ඉදිරියට දේශපාලන අධිකාරියට අවශ්‍ය විදියට පොලිසියේ උසස්වීම් නෑ-මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් වැඩ අරඹමින් කියයි

මින් ඉදිරියට දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවන් මත පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් හා ස්ථාන මාරු සිදු නොවන බව ඇමැති විජිත හේරත් මහතා පවසයි. විදෙස් ගමන් බලපත්‍ර ප්‍රශ්නය ඉක්මනින් විසඳීමට වහා පියවර ගන්නා බව ද ඇමැතිවරයා කියා සිටියේය.

මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස එච්.එම්. විජිත හේරත් මහතා ඊයේ (25) බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය. නිල වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

“මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වගකීම අද සිට මම භාර ගන්නවා. මේ රටේ ජනතාව අපට ජනවරමක් දුන්නා. ඒ ජනවරමට අනුව අපට වගකීමක්, බැඳීමක් තිබෙනවා රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට.

රටේ ලොකුම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන පාස්පෝට් ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න උපරිම උත්සාහ කරනවා. දැනටමත් ඒ පිළිබඳ අධ්‍යක්ෂ සමඟ සාකච්ඡා කර තිබෙනවා. එතුමාගේ පැත්තෙන් කළ සාකච්ඡා අනුව එතුමා සහතිකයක් දී තිබෙනවා. ඔක්තෝම්බර් මාසයේ පහළොව, විස්ස අතර දින වෙනකොට දැනට තිබෙන මේ පාස්පෝට් පෝලිම් අවසන් කරන්න. අලුත් පාස්පෝට් හඳුන්වා දෙන්න කියලා.

පොලිසිය පැත්තෙන් පසුගිය කාලයේ අපේ රටේ ජනතාවට විශ්වාසයේ යම් බිඳවැටීමක් ඇති වෙලා තිබුණා. ඒ විශ්වාසය ගොඩනැඟීමට විශාල වගකීමක් තිබෙනවා. ඒක කෙටි කාලයකින් කරන්න පුළුවන් එකක් කියා මම හිතන්නේ නැහැ. නමුත් වේගයෙන් ක්‍රියාමාර්ග හරහා මේ රටේ ජනතාවගේ නීතිය හා සාමය රැකීමත් ඒ සඳහා තිබෙන පොලිසියේ වගකීම දේශපාලන මැදිහත්වීමකින්, ඇඟිලි ගැසීමකින් තොරව පොලිසියට කටයුතු කරන්න ඉඩ ප්‍රස්තා දෙමින් ඒ කටයුතු සාර්ථක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඔබතුමන්ලාගේ පැත්තෙන් තිබෙන්නේ දේශපාලනඥයන්ගේ මැදිහත්වීමට අනුව කටයුතු කරන්නේ නැතිව නීතිය හා සාමය රැකීම ස්වාධීනව කරන එක. කිසිම දේශපාලන මැදිහත්වීමකට පැටලෙන්න එපා. අපේ ආණ්ඩුවේ ඇමැතිවරු, මන්ත්‍රීවරු පොලිස් මහත්වරුන්ට කතා කර අර දේ කරන්න, මේ දේ කරන්න කියලා වැරැදි පරණ සංස්කෘතිය කරන්නේ නැහැ. ඒ ගැන අපි සහතික වෙනවා. රාජකාරිමය සහ පරිපාලනමය අවශ්‍යතා මත උසස් නිලධාරීන් පත් කිරීම තමයි කළයුතු වන්නේ. දේශපාලනමය වුවමනා එපාකම්වලට මාරු කිරීම්, පත් කිරීම් මෙතැනින් එහාට සිදුවිය යුතු නැහැ. දේශපාලන වශයෙන් අපිට හිතවත් කෙනෙක් වැරැද්දක් කළත් ඒකෙදී විශේෂයක් සලකන්න ඕනෑ නැහැ. වැරැද්දනම් වැරැද්ද, නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.”