වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමකට ඔසවා තැබීම අත්‍යවශ්‍යයි- ජනපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් කියයි

කඩිනම් වැඩපිළිවෙළක් යටතේ කෙටිකාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම අරමුණයි

IMF වැඩසටහන ඉදිරියට ගෙනයනවා

දේශපාලනය කරන වෙලාවට දේශපාලනයත්- රට ගොඩගැනීමේදී සාමූහික එක්වීමත් වැදගත්

සියලු ජාතීන්ට එක්ව ජීවත් විය හැකි රටක් නිර්මාණය වනතුර මේ රට අසමත්

-ජනපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් කියයි

සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා ඊයේ (25) ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් දිගුකාලීන හා මධ්‍යකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර, අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටිකාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. දශක කිහිපයක් තිස්සේ අප නැඟූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙළට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කර සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. අපට බලය ලබාදීමේ දී මහජනතාව තුළ තදින් මුල් බැසගත් සංකල්පයක් වූයේ “වෙනසක්” ඇති කිරීම බව ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

ඔබ ලබාදුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙළට එකඟ නොවූ පිරිස් පවා, අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වෙන්නේ නම් පමණක් බව අප විශ්වාස කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණයේ අයිතිය අප රටේ සමස්ත පුරවැසියන්ටම පිරිනැමීමට මා කැමතියි.

අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තබා විවිධ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින්, අලුත් අත්හදා බැලීමකට බිය නොවී, අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබාදීමට තරම් සුවිශාල අධිෂ්ඨානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ත ජනතාවටම අප සමඟ එක්ව මේ රට ගොඩනැංවීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට පෙරත් අප සමඟත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැනුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමඟ ගොඩනඟන පොහොසත් රටත්, ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා.

මෙරට ගොඩනැඟීමේ කාර්යභාරය සාමූහික ප්‍රයත්නයක් ලෙස ඉටු කිරීමේ හැකියාව අප තුළ තිබෙනවා. ඒ සඳහා ඉතාම දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. අපි සියලු දෙනාට ඒ පිළිබඳව දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා.

සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර, අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කරනවා.

අප අපෙක්ෂා කරන වෙනස සඳහා සැලකිය යුතු කාලයක් තුළ, පියවර රැසක් ගැනීමට තිබෙනවා. එහෙත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩනැංවීමෙන් පමණයි. ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීර්ණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරියට ගෙනයාම සඳහා, අදාළ ණය පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර, අදාල ණය සහන ලබාගැනීමට අප කටයුතු කරනවා. ඒ සඳහා මේ රටේ ජනතාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබාගත හැකි බවට අප විශ්වාස කරනවා. ඒ සහයෝගය තුළින් අපට සාමූහිකව ජයග්‍රහණය කළ හැකි බව අපි විශ්වාස කරනවා.

අපට බලය ලබාදීමේ දී මහජනතාව තුළ තදින් මුල් බැසගත් සංකල්පයක් වූයේ “වෙනසක්” ඇති කිරීමයි. මෙතුළින්, වෙනසක් යන්නෙන් මෙරට පුරවැසියා අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතයෙන් ඔප්පු කරලා තියෙනවා. මෙරට සියලුම ආකාරයේ මැතිවරණයන් සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුණු එකම මැතිවරණය ලෙස පැවැති ජනාධිපතිවරණය ඉතිහාසයට එක් කිරීමට අප සමත් වීම, මෙරට ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සනාථ කිරීමකි. මෙම තත්ත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි.

දේශපාලනයේදී බලය ලබාගැනීම වෙනුවෙන් සංවිධානය වීම සහ ඒ වෙනුවෙන් උපායමාර්ග ගැනීම ඕනෑම කෙනෙකුට තිබෙන අයිතියක්. දේශපාලනය කරන වෙලාවට දේශපාලනය කිරීමත් රට ගොඩනැඟීම උදෙසා කටයුතු කළ යුතු වෙලාවට ඒ වෙනුවෙන් සාමූහිකව එක්වීමේ වැදගත්කමත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. ඒ සඳහා අප නායකත්වය ලබාදෙනවා.

සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, මැලේ වේවා, මේ සියලු දෙනාටම Òඅප ශ්‍රී ලාංකික පුරවැසියන්Ó කියා අභිමානයෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය වන තුරු මේ රට අසමත් වනවා හැර, සමත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාමය, ආර්ථක, දේශපාලනික ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට අප කිසිසේත්ම පැකිළෙන්නේ නෑ.

තමන්ගේ ජාතිය, ආගම, පන්තිය, කුලය අනුව මේ රට වෙන් වුණු යුගය සහමුලින්ම අවසන් කර, විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් හැටියට මේ රට ගොඩනැංවීමේ නොවෙනස්, ස්ථිරසාර වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා.

මේ සියලු කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඒවා මෙහෙයවීමට අවශ්‍ය කාර්යක්ෂම හා අවංක නිලධාරින් පත් කිරීමේ පියවරයන් රැසක් අප මේ වන විටත් අවසන් කර තිබෙනවා. මහජන සේවාව බිඳනොවැටෙන හා පුරවැසියන් කෙරෙහි අයහපත් අන්දමේ බලපෑමක් ඇති නොවෙන පරිදි, අපේක්ෂිත වෙනස්කම් කරා පියවරෙන් පියවර අප ඉදිරියට යනවා.

නීතිගරුක රටක් නිර්මාණය කරමින් විනයගරුක සමාජයක් ඇති කරන්න අපි කැපවෙනවා. සියලු පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරනවා. නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සංකල්පයට යළි ජීවය ලබාදෙනවා.

අප රට ගොඩනැංවීමේ දී රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් පැවරෙන බව අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මහජනතාවට අභිමානය සැලසෙන, රජයේ ඉලක්ක කරා හඹා යන රාජ්‍ය සේවයක් ඇති කරනවා. කාර්යක්ෂම අවංක සහ ජනතාවාදී රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් අපි කැපවෙනවා.

මේ රටේ මහජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම අපගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් අප ක්‍රියාවට නංවනවා. ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා අප පියවර ගන්නවා.

මේ රටේ සෑම මවකට සහ පියකුට තමන්ගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සාංකාවක් ඇතිවෙන්න ඉඩක් තියන්නේ නැහැ. තමන්ගේ දරුවට හොඳ පාසලක් හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න ඒ හැම දෙමාපියකුටම අයිතියක් තියෙනවා. සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීමට කැපවෙමින් මතු පරම්පරාව සුරක්ෂිත කරන්න අපි කැපවෙනවා. දැනුම, ආකල්ප හා කුසලතා දියුණු කිරීම මඟින් අප රටේ තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් නිර්මාණය කරනවා.

ඕනෑම රටකට අප ගිය විට ගුවන් තොටුපොළේ ස්වභාවයෙන්ම රට ගැන යම් චිත්‍රයක් මවාගන්නට පුළුවන්. එහි පිළිවෙළ, මිනිසුන්ගෙ හැදියාව, ක්‍රියාකාරිත්වය, හැසිරීම් රටාව මේ ආදී සියල්ල තුළින් ගම්‍ය කරන්නේ ඒ රටේ ස්වභාවය. ඉන් ඔබ්බට පරිසරයේ පිරිසිදු බව, පාරවල්වල වාහන යන ආකාරය, වැඩිහිටියන්ට සලකන ආකාරය, ආගන්තුක සත්කාර ඒ වගේම සත්තුන්ට සලකන ආකාරය පවා එමඟින් සනාථ කරගන්න පුළුවන්. අප රටේ ප්‍රතිරූපයත් ඒ ආකාරයෙන්ම පැහැදිලිව පෙනෙන ආකාරයට ගොඩනැංවීමට අප සැලසුම් සකස් කර අවසන්. ඒ ගොඩනැඟීම වෙනුවෙන් කෙටිකාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගන්නවා.

මේ රටේ විදෙස් ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්වයකට රට ගොඩනංවන්නට අවශ්‍යයි. මේ රටේ පුරවැසියන්ට ‘මම ශ්‍රී ලාංකිකයෙක්’ කියලා අභිමානයෙන් කියන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි . ‘මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක්!’ කියලා අපේ රටේ ජනතාවට හිතෙන තැනට මේ රට පත් කරන්න අවශ්‍යයි. ඊට ඔබේ සාමූහික දායකත්වය අවශ්‍යයි.

සියලු පුරවැසියන්ට සමාජ සාධාරණත්වය හිමි වන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම්සහගත ලෙස දායක වෙනවා.

දැනුම, කුසලතාවය, අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය දිරිගන්වන වැඩපිළිවෙළක් තුළින් අපගේ ළමා හා තරුණ පරපුරට විශ්වසනීය අනාගතයක් අප විසින් නිර්මාණය කරනවා.

අපේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් ඉක්මවන කාන්තා ප්‍රජාව මෙරට ආර්ථිකයේ සහ සමාජ ක්‍රියාවලියේ සුවිශාල දායකත්වයක් දක්වන පිරිසක්. කාන්තා නියෝජනය සම්බන්ධව සියලු දෙනාට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග වෙතට අපි යොමු වෙනවා. සියලු ආයතනයන්හි කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට අප විසින් පියවර ගන්නවා. ඒ සඳහා වන අපගේ කැපවීමේ ආදර්ශය සනාථ කරමින් දැනටමත් අපගේ අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් පත් කර තිබෙනවා.

මෙරට ජනගහනයෙන් විශාල පිරිසක් ආබාධ සහිත, සුවිශේෂ සමාජ ආරක්ෂණයක් ලැබිය යුතු පිරිසක්. එම පිරිස වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් අප විසින් යෝජනා කර තිබෙන අතර, එහි කෙටිකාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කරනවා.

අප යන ගමනේදී මේ සමාජ දේහයේ සියලු කණ්ඩායම් මඟ නොහරින බවට අප වග කියනවා. එකිනෙකාගේ අනන්‍යතාවයන්ට ගරු කරමින් ඒවා රටේ ප්‍රගතිය උදෙසා සාධනීය ලෙස යොදා ගැනීම වෙනුවෙන් අපේ දායකත්වය අපි ලබාදෙනවා.

මහජන පරමාධිපත්‍යය පිළිබඳව අප ඉතාම දැඩිව විශ්වාස කරන අතර, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙනවා.

අප පිළිබඳව සැක සංකා හේතුවෙන් අවිනිශ්චිතතාව ඇති අය සිටින බව මා දන්නවා. මාගේ ක්‍රියාවන් තුළින් ඔබගේ විශ්වාසය දිනා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබගේ සාධනීය විවේචන මම පිළිගැනීමට සූදානම්. එමෙන්ම අප එක්ව ගොඩනඟන අනාගතයේ කොටස්කරුවන් වීමට ඔබව ධෛර්යමත් කරනවා. අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකි නම්, ඔබ හා අප අතර ඇති ඉලක්ක සමාන බව ඔබට වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එමඟින් රට මුහුණ දී ඇති අර්බුදය පිළිගැනීමටත් එතුළින් ඉදිරියට යාමට අවශ්‍ය උපායමාර්ග එක්ව සැලසුම් කිරීමටත් හැකි වෙනවා. මේ රට ගොඩනැඟීම උදෙසා සාධනීය ලෙස අවංකව සම්බන්ධ වන සියලු දෙනාට අපගේ දොරටු විවෘතයි.

ජනතාවගේ ජනවරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ජනවරමේ විකෘතියක්. ඒ අනුව මා ඊයේ දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තා. ව්‍යවස්ථානුකූලව රට ගෙනයාම සඳහා අපගේ පාර්ලිමේන්තු නියෝජනයට අනුරූපී වන ආකාරයට කැබිනට් මණ්ඩලයක් ද පත් කර ගත්තා.

අලුත් ඉරක් පායන හැම දවසකම මේ රටේ සියලුම මිනිසුන් දකින සිහිනයක් තිබෙනවා. ඒ අදට වඩා හොඳ හෙටක්! එහෙත්, දශක ගණනාවක් තිස්සේම එය සිහිනයක් පමණක් වූ බව ඔබත් මමත් දන්නා කරුණක්.

අවස්‍ථාවාදය, බලලෝභය, ඒකාධිපතිවාදය හා ජාතිවාදය හේතුවෙන් අපේ රට තවමත් ඉහළින් ඔසවා තබන්නට අපට බැරිවෙලා තිබෙනවා. එහෙත්, දැන් අපට ඉතිහාසයේ අත්හල නොහැකි අවස්‍ථාව ලැබී තියෙනවා. අපි සියලු දෙනා එකට එක්ව, විවිධත්වයන් දරාගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනඟමු.