මුදල්,ආර්ථික සංවර්ධන සහ සංචාරක අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන වැඩ භාරගනී

මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා වැඩ භාර ගත් අවස්ථාව.

මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාදන,සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. කොළඹ කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාරගත් මහින්ද සිරිවර්ධන මහතා සාමාන්‍ය රාජකාරි ආරම්භ කරන ලෙස කටයුතු ඇරඹීම විශේෂත්වයක් විය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන් වන ඒ.කේ.සෙනෙවිරත්න, ආර්.එම්. ප්‍රියන්ත රත්නායක, ඩබ්.ඒ. සරත් කුමාර, අතිරේක ලේකම් හිමාලි පුල්ලේපෙරුම මහත්ම මහත්මීහු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සුවිශේෂී දායකත්වයක් දැක් වූ ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව,ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානයට විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් (Vanderbilt University) විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් සිරිවර්ධන මහතා ලබාගෙන තිබේ. මහින්ද සිරිවර්ධන මහතා සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය වැඩසටහන්කරණය සහ ප්‍රතිපත්ති යනාදී ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර පුහුණුකරණ වැඩසටහන් ගණනාවකට සහභාගි වී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.