ජනපති ලේකම් කාර්යාල වාහන භාර නොදී තැන තැන ගාල් කිරීම ගැන පරීක්ෂණයක්-වාහන 29ක් අතුරුදන් හිටපු ජනපතිවරු මේවා ගිලලා ද?

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන නිසි ලෙස භාර නොදී තැන තැන ගාල්කර යෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද සුඛෝපභෝගි රථ වාහන රැසක් ගාලුමුවදොර බාලදක්ෂ මාවත අසල රථ ගාලට පෙරේදා (24) රැගෙනවිත් තිබිණි. නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟ අමාත්‍යාංශය තුළ සිදු කර ඇති වෙනස්කම් රැසක් හේතුවෙන් අමාත්‍යාංශවල පරිහරණය කරන ලද සුඛෝපභෝගි රථ වාහන ගාලුමුවදොර බාලදක්ෂ මාවත අසල රථ ගාලට රැගෙනවිත් තිබූ අතර ඊයේ (25) දිනයේ ද වාහන රැසක් එම ස්ථානයට ගෙන එනු දක්නට ලැබිණි.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (25) මාධ්‍යයට අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයට අයිති වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තිබෙනවා. ඒ වාහන 833න් වාහන 29ක්, 2022 වන විටත් අතුරුදන්. අපි අහනවා මේ රටේ හිටපු ජනාධිපතිවරු රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරණතුංග මේ වාහන ගිලලා ද ගියේ. තමන්ට වගකීමක් තිබෙනවා තමන්ගේ ධුර කාලයේ තිබෙන දේපොළ ජනතාවට භාර දීලා යන්න. අනුර දිසානායක මහතා වැඩ භාරගෙන දවස් දෙකයි. අපි මේ වැඩ භාරගෙන දවස් දෙකට කියන්නේ මේ විස්තර. ජනාධිපති ලේකම් කාර්යාලයට අයිති වාහන 253ක් පිට ආයතනවලට දීලා දුවනවා. දැන් ඒවා තමයි මේ දුවගෙන ඇවිල්ලා තැන් තැන්වල නැවතිලා තියෙන්නේ. මෙතන විතරක් නෙමෙයි පදනම් ආයතනයේ තව නවත්තලා තිබෙනවා.

වංචාව දූෂණය වගේම මේ නාස්තියත් නවතිනවාට සාක්ෂි තමයි මේ. එතකොට මේ වාහන වගකීම් විරහිතව ගෙනත් දාලා තිබෙනවා. මේ වගකීම් විරහිතව ගෙනත් දාපු අය. වාහන භාරදීපු අයගේ විස්තර අපි දැන් ඉල්ලලා තියෙනවා. ඒ වාහන භාරදුන්නේ කාටද? මේ පටන් ගත්තා විතරයි. මහ බැංකු බැඳුම්කර වංචාවේ ඉඳන් පාස්කු ප්‍රහාරයේ ඉඳන්, බාර් ලයිසන් දීපු අයගේ දැන් ලිස්ට් එක එනවා අපි ළඟට. ඒක නිසා මේවාට අදාළ විධිමත් පරීක්ෂණ පවත්වනවා.

මෙම තැන්වල නවතා ගොස් තිබූ වාහන යුරෝපා මැතිවරණ නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණයට ද ලක්ව තිබිණි.

පසුගිය රජය යටතේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂාව වෙනුවෙන් නිල වාහන 03කුත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට පමණක් නිල වාහනයක් සහ සහාය කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරීන් සඳහා වාහන 02ක් පමණක් වන ආකාරයට වාහන 06ක් ද එක් එක් රාජ්‍ය අමාත්‍යවරයාට හිමි වනවා. එහිදී රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල වාහන සඳහා මසකට පෙට්‍රල් වාහනයකට නම් ලීටර 500ක් හෝ ඩීසල් වාහනයකට නම් ලීටර 500ක් ලෙස ද වන අයුරින් අදාළ නිල රථ තුනට ඉන්ධන ලීටර 1500ක් හිමිව තිබිණි.

ජනතාවට ජීවත් වීමට පවා අසීරු වී ඇති අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් තිස්හත් දෙනකු පත්කර මේ ආකාරයට ඔවුන් වෙනුවෙන් වාහන වෙන් කිරීම තුළින් රටේ වැය බර තවත් ඉහළ ගිය බව ජනතාවගේ මතය වී තිබිණි.