සමගි සන්ධාන අගමැති අපේක්ෂක සජිත්-රනිල් සමඟ කිසිම සාකච්ඡාවක් නෑ

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා නොපවත්වන බවත් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ සමගි ජන සන්ධානයෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ වැනි අය සමඟ සාකච්ඡා නැති බවත් අංක ගණිතමය වශයෙන් පමණක් බැලුවොත් තමන් සහ රනිල් වික්‍රමසිංහ එකට එකතු වූවා නම් ජයගත හැකි වුවත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයකට ගියහොත් එය සත්‍යයක් නොවන බව පෙනී යන බවත් රටේ ජනතාව ලබාදුන් ජන මතය, ජනතා ආශීර්වාදය තමා නිහතමානීව භාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස මහමැතිවරණය මෙහෙයවීමේ වගකීම වත්මන් විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට ඊයේ (24) කොළඹදී රැස් වූ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීන්දු කරන ලදි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය. ඉදිරි මහ මැතිවරණයට තමා සූදානම් බවත් සමගි ජන සන්ධානය ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන ප්‍රගතිශීලි හා ජනතාව පිළිගන්නා පුද්ගලයන් සමඟ අත්වැල් බැඳගත හැකි බවත් මේවා දේශපාලන ඩීල් නොව ප්‍රතිපත්තිවලට අනුකූලව, ප්‍රතිපත්ති පිළිගෙන ඒ තුළින් ඉදිරියට යෑමට කැමති අයට බාධාවක් නොවන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසන බවත් ඔහු නැතිව ඔහුගේ කණ්ඩායමට තැනක් නැති බවත් අප රට බොහොම අමාරු තැනක ඇති නමුත් මැතිවරණ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කර පිරිසුදු රාජ්‍ය පාලනයක් හා සුපිරිසුදු ප්‍රතිපත්තිගරුක ජන සමාජයක් ගොඩනැඟීමේදී ප්‍රගතිශීලි යෝජනාවලට ඕනෑම අවස්ථාවක සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.