දිගු හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට කටයුතු කරනවා – ජනපති

රට ගොඩ නැගීමේ සාමූහික කර්තව්‍ය ඉටු කර ගැනීම සඳහා වන කණ්ඩායමක් තමන් සමඟ සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සෑම ක්ෂේත්‍රයකටම ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් සඳහා ඔසවා තැබීම අවශ්‍ය බව රජය දැඩිව විශ්වාස කරන බවයි ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ වෙනුවෙන් දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්ථීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙන යාමටත් ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ආදළ ණය පාර්ශව සමඟ සාකච්ඡා කර එම කටයුතු හැකි ඉක්මනින් නිම කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

ජනතාවගේ ජන වරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ජන වරමේ විකෘතියක් බවයි ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව තමා ඊයේ (24) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඉතිහාසයේ අත්හල නොහැකි අවස්‍ථාව ලැබී තිබෙන බවත්, සියලු දෙනා එකට එක්ව විවිධත්වයන් දරාගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.