ජනපති අනුරගේ පත්වීම ගැන මූඩීස් වෙතින සුභවාදී ආකල්පයක්

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වීමෙන් රටේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය කඩාකප්පල් නොවන බවට ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් විශ්වාසය පළ කර තිබේ.

පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිටුබලය ලත් වැඩසටහන ඇතුළුව ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ඇති පුළුල් දැක්ම මෙම දේශපාලන පරිවර්ථනය නොතකා නොවෙනස්ව පවතිනු ඇතැයි මූඩීස් විශ්වාසය පළ කරයි.

කෙසේ වෙතත්, මූල්‍ය ඒකාග්‍රතාවය පවත්වා ගැනීම අභියෝගාත්මක විය හැකි අතර නුදුරු අනාගතයේ දී ණය අවදානම් ඉහළ නැංවිය හැකි බව මූඩිස් අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත. නව පරිපාලනය මෙම ආර්ථික බාධක හරහා ගමන් කරන විට ඇතැම් ප්‍රතිපත්ති නැවත සැළසුම් කරනු ඇතැයි සදහන් වේ.

මූඩීස් වැඩිදුරටත් පවසා ඇත්තේ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එහි වැඩසටහන යටතේ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ව්‍යුහාත්මක ගැලපීම් ඇතුළත් රටේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට හෝ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවලට සැලකිය යුතු බාධාවක් සිදුවේ යැයි අපි බලාපොරොත්තු නොවෙමු. කෙසේ වෙතත්, යම් කාලයක් සඳහා ණය අවදානම් ඉහළ මට්ටමක තබා ගත හැකි මූල්‍ය ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ අභියෝග මධ්‍යයේ ඇතැම් ප්‍රතිපත්ති නැවත සංශෝධනය කිරීමට ඉඩ ඇත.“ යනුවෙනි.