ජනතාව දුන් වගකීම ඉටු කරන්න ජනපතිට යම් කාලයක් දිය යුතුයි-මන්ත්‍රී වජිර අබේවර්ධන

ලැබී ඇති ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවේදී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩසටහනට වඩා අනුර කුමාර දිසානායක මහතාගේ වැඩසටහන ගැන ජනතාව විශ්වාසය තබා තිබෙන බැවින් නැවත පෝලිම් යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔහුට ඡන්දය දුන් සැමට සිය ස්තූතිය පළ කර තිබෙනවා. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විවිධ දේශපාලන මත දරන කණ්ඩායම් සිය ඡන්දය භාවිත කළා.

42%ක ජන වරමක් ලබා දෙමින් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලාංකික මහජනතාව විසින් විශාල වගකීමක් පවරා තිබෙනවා.

එම වගකීම ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාල සීමාවක් ලබාදිය යුතුව තිබෙනවා.