අතුරුදන් වී සිටි චීනයේ හිටපු විදේශ ඇමැති අමාත්‍යාංශයේ සුළු රැකියාවක

චීන කොමියුනිස්ට් පක්ෂ පාලනාධිකාරියේ උදහසට ලක්වී කාලයක් අතුරුදන්ව සිටි බව කියන එරට හිටපු විදේශ ඇමැති කින් ගැං චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය අංශයේ සුළු රැකියාවක නිරතව සිටින බව වොෂින්ටන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. මාස ගණනාවක් සමාජයෙන් ඈත්වී අබිරහස් ලෙස අතුරුදන්ව සිටි බව කියන හිටපු විදේශ ඇමැතිවරයා බන්ධනාගාරගතවීමකට හෝ සියදිවි හානි කරගැනීමක් හෝ සිදුවන්නට ඇතැයි මීට පෙර පුවත් පළ වී තිබුණද ඔහු නිරුපද්‍රිතව සිටින බවත්, ඔහු සාමාන්‍ය රැකියාවක නිරතව සිටින බවත් අමෙරිකානු නිලධාරීන් දෙදෙනකු තහවුරු කර ඇතැයි ද වාර්තා වේ.

තනතුරෙන් පහළ දමා සාමාන්‍ය රැකියාවකට අනුයුක්ත කර සිටින 58 හැවිරිදි කින් ගැං ගේ දේශපාලන ජීවිතය අවසන් වී ඇතැයි ද, ඔහු මින් ඉදිරියට කිසිදු තනතුරකට පත් නොවනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. වසර 2018 දී උප අමැතිවරයකු ලෙස පත්වූ කින් ගැං 2021 දී අමෙරිකාවේ චීන තානාපතිවරයා ලෙසත් කටයුතු කර තිබූ අතර, එම ධුරය මාස 18කින් අවසන් කිරීමට චීන රජය පියවර ගෙන තිබිණි.