බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඇම්.ජී. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

කොස්ගොඩ ගම් සභාවේ හිටපු සභාපති හා බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී දේශබන්දු ඇම්.ජී. ද සිල්වා මහතා (82) අභාවප්‍රාප්ත විය. දෙදරු පියකු වූ ඒ මහතාගේ ආදාහන කටයුතු හෙට(26) සවස 3.00ට අහුන්ගල්ල ආදාහනාගාරයේ දී සිදු කෙරේ. 1942 සැප්තැම්බර් මස හය වැනි දින අහුන්ගල්ල ගල්වෙහෙර දී උපත ලද ඒ මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයේ සහ කොළඹ ස්ටැෆර්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වශයෙන් අත ලකුණින් 1966 මැයි මස 31 වැනිදා පැවැති කොස්ගොඩ ගම් සභා මැතිවරණයට අංක 13 ගල්වෙහෙර දකුණ කොට්ඨාසයෙන් තරග කර පළමුවෙන් ජය ගත් අතර 1971 නොවැම්බර් මස 26 වැනි දින පැවති ගම් සභා මැතිවරණයෙන් ද ජය ගත්තේය. පසුව පැවති සභාපති තෝරන ඡන්දයෙන් ජය ගෙන කොස්ගොඩ ගම් සභාවේ සභාපතිවරයා බවට පත්විය.

ගමක්ව තිබූ අහුන්ගල්ල නගරයක් කිරීමේ පුරෝගාමියා විය. අහුන්ගල්ලේ මධ්‍යම බෙහෙත් ශාලාව, ගොවිජන සේවා මධ්‍යස්ථානය,පොදු වෙළෙඳ පොළ, පුස්තකාලය, වීරසිංහ ක්‍රීඩාංගණය ආදිය ඉදිකිරීමට පුරෝගාමීව කටයුතු කළේය.

පසුව බළපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ද කටයුතු කරමින් අහුන්ගල්ලට පමණක් නොව බළපිටිය කොට්ඨාසයටම විශාල සේවාවක් ඉටු කළ ඒ මහතාගේ දේහය අහුන්ගල්ල පොදු වෙළෙඳපොළ පසුපස පිහිටි නිවෙසේ තැන්පත් කර තිබේ.