පාකිස්තානයේ පොලිසියකට අත්බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ක්වේටා පළාතේ පොලිස් ස්ථානයක රඳවා සිටි ඉස්ලාම් ධර්මයට අපහාස කළ බව කියන පුද්ගලයකු තම බාරයට පත් කරන ලෙස ඉල්ලා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් එම පොලිස් ස්ථානයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් විරෝධතාකරුවන් මේ ඉල්ලීම කර ඇතැයි ද, සැකකරු නිදහස් කිරීමෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ලවීමට ඉඩකඩ ඇතැයි ද කියමින් පොලිසිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පොලිසිය ඉදිරිපිට විරෝධතාව පවත්වනු ලැබුවේ එරට අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන ටෙහ්රීකි ලබ්බේක් නමැති සංවිධානයක් බවත්, තවත් ආගමික කණ්ඩායම් කිහිපයක් ඔවුන්ගේ සහායට පැමිණ සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

තම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් කෝපයට පත්වූ විරෝධතාකරුවන් පොලිසිය ඉදිරිපිට ටයර් දමා පුලුස්සා ඇති අතර, පොලිස් ස්ථානයට අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉන් පසුව බව ද වාර්තා වේ. අත්බෝම්බය පොලිස් ස්ථානය තුළට පතිත වීමට පෙර පුපුරා ගිය බවත්, ඉන් කිසිදු පොලිස් නිලධාරියකුට තුවාල සිදු නොවූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.