ජනපති ඇතුළු තිදෙනකුගෙන් සමන්විත කැබිනට්ටුවක්-එක් ඇමැතිවරයකුට අමාත්‍යාංශ ගණනාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව කැබිනට් මණ්ඩලයක් පත් කරන ලද අතර මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ කුඩාම කැබිනට් මණ්ඩලය වේ. මෙම කැබිනට් මණ්ඩලයේදී ඉතිහාසයේ එක් ඇමැතිවරයකු විසින් වැඩිම අමාත්‍යාංශ ගණනාවක් පාලනය කරයි.

ඊයේ (24) පත් කරන ලද කැබිනට් ඇමැති ධුර සහ විෂයන් මෙසේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශ ද, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ද පාලනය වේ. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ද අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ, කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශ පාලනය වේ. ඇමැති විජිත හේරත් මහතා යටතේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, මහජන ආරක්ෂක, විදේශ කටයුතු, පරිසර, වනජීවී, වන සම්පත්, ජලසම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ පාලනය වේ. අගමැතිවරිය සහ ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ මහත්වරුන් ද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. තුයියකොන්ත මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.