ශ්‍රී ලංකා ටෙස්ට් පිල ලෝක ශූරතාවලියේ 3 වැනි තැනට

ශ්‍රී ලංකා දඟ පන්දු යැවීමේ වික්‍රමයට ගාලු තණතිල්ල ලබාදුන් සහයෝගයත් සමඟ සංචාරක නවසීලන්ත පිලට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 63ක ජයක් ශ්‍රී ලංකා පිල හිමිකර ගත්තේය. ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා කොළඹදී වැඩභාර ගැනීම සිදුවන වේලාවේදීම ගාල්ලේදී ශ්‍රී ලංකා පිල මේ ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේය.

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිල ලෝක ටෙස්ට් ශූරතාවලියේ අංක තුන දක්වා ඉහළට පැමිණි අතර, නවසීලන්තය 4 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස ගියේය. ඊයේ වනවිට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉන්දියාව පළමු ස්ථානයේ හා ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේ සිටි අතර, එංගලන්තය 5 වැනි හා බංග්ලාදේශය 6 වැනි ස්ථානවලට පත්ව සිටියහ.

නිමා වූ තරගයත් සමඟ ශ්‍රී ලංකාව හා නවසීලනතය අතර ගාල්ලේදී ටෙස්ට් තරග 5ක් පවත්වා ඇති අතර, එම ටෙස්ට් තරග 5ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවේය. දෙරට අතර මෙතෙක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 18ක් පවත්වා ඇති අතර, එයින් 8ක් ශ්‍රී ලංකාව හා 5ක් නවසීලන්තය ජයග්‍රහණය කළේය. ටෙස්ට් තරග 5ක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ.

ඊයේ අවසන් දිනයේ නවසීලන්ත කඩුලු දෙක දවා ගැනීමට මිනිත්තු 15ක් පමණක් වැය වූ අතර, තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඒ අනුව හැකියාව ලැබුණි. තම දෙවැනි ටෙස්ට් ශතකය අභියස සිටි පළපුරුදු පිතිකරු රචින් රවීන්ද්‍රාගේ කඩුල්ල ඊයේ ක්‍රියාත්මක වූ දෙවැනි ඕවරයේදී ලබා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය. රචින් රවීන්ද්‍රා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යද්දී ලකුණු 92ක් ලබා සිටියේය. මේ තරගයේදී කඩුලු 8ක් ලබා ගත් අඩි 6යි අඟල් 6ක් උසැති වේග පන්දු යැවූ 23 හැවිරිදි විලියම් ඕ‘රූක් ලකුණු බින්දුවකට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වීමෙන් නවසීලන්ත ඉනිම නිමාවට පත් විය. මේ ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 275ක ඉලක්කයක් කරා හඹාගිය නවසීලන්ත පිල පෙරේදා සිවුවැනි දිනය නිමාවනවිට කඩුලු 8කට ලකුණු 207ක් ලබා සිටි අතර, ඊයේ දිනයේ එක් වූයේ ලකුණු 4ක් පමණි. තරගයේ වීරයා සම්මානය දිනාගත් ප්‍රභාත් ජයසූරිය ලකුණු 68කට කඩුලු 5ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 83කට කඩුලු 3ක් බිඳ දැමූහ.

ශ්‍රී ලංකා පිල මුල් ඉනිමට රැස්කළ ලකුණු 305ට පිළිතුරු ලෙස නවසීලන්ත පිල මුල් ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 340ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 309ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පළමු ඉනිමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් හා දෙවැනි ඉනිමේදී දිමුත් කරුණාරත්න ලකුණු 83ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 61 හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50ක් එක් කළහ. නවසීලන්ත පිල වෙනුවෙන් ටොම් ලේතම්, කේන් විලියම්සන්, ඩැරල් මිචෙල් හා රචින් රවීන්ද්‍රා අර්ධ ශතක ලබා ගත්හ.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා (26) ගාල්ලේදීම ආරම්භ කිරීමට නියමිතය.