යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කැපවෙන්න සූදානම්-ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු අභිනව ජනපති ජාතිය අමතයි

පාලකයෙක් තෝරා ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නෑ:

දන්න දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගෙන වැඩ කිරීමට සූදානම්:

දේශපාලකයන් සහ දේශපාලනය ගැන පුරවැසියන්ට ගෞරවයක් ඇති කීරීමට වෙහෙසෙනවා:

රට ගොඩනැඟීමට අපේ ක්‍රියාදාමයට උදව් කරයි කියන විශ්වාසය මට තිබෙනවා:

 
ජනතාව අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් තම ධූර කාලයේ කැපවන බවට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. අපේ දේශපාලනය මීට වඩා පිරිසුදු විය යුතු මෙන්ම ජනතාව විශාල වශයෙන් අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවක් තිබෙන බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් කැපවීමට සූදානම් බව ද අපේ රටේ දේශපාලකයා මෙන්ම දේශපාලනය පිළිබඳව පොදු පුරවැසියන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක් බව ද කීවේය.

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඊයේ පෙරවරු 10.05ට යෙදුණු සුබ මොහොතින් නව ජනාධිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එහිදී වැඩිදුරටත් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය ජනතාව විසින් තම පාලනයට පාලකයෙක් තෝරා ගැනීමයි. නමුත් මැතිවරණයකට ඡන්දය ප්‍රකාශ කිරීම හා පාලකයෙක් තෝරා පත් කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නැහැ.එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වුවත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය වගේම නීතිමය ශක්තිමත්භාවයක් අවශ්‍යයි. ඒ නිසා මා ප්‍රථම කොටම අපේ රටේ ජනතාව දැනුම්වත් කරන්න කැමතියි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ උපරිම කැපවීම මාගේ ධූර කාලයේ තහවුරු කරන්න සූදානම්. ඒ වගේම අපේ රටේ මැතිවරණයකින් බලය හුවමාරු කිරීමේදී ප්‍රජාතාන්ත්‍රික ලෙස සිදුවුණු ඉතිහාසයක් තිබෙනවා.කිසිදු විටෙක මැතිවරණයකදී සිදුවූ බල හුවමාරුවක් කිසිදු නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, එතුමාගේ ආදර්ශය ලබාදීමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක් බව අපි ඉතා ගැඹුරින් තේරුම් ගෙන සිටිනවා. අපේ රටේ දේශපාලනය මීට වඩා පිරිසුදු විය යුතුයි. ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව තිබෙනවා.අප ඒ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. අපේ රටේ දේශපාලකයාත්, දේශපාලනයත් පිළිබඳව පොදු පුරවැසියන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක්. දේශපාලනය සුදුසු නැති දෙයක් වගේ අදහසක් තිබෙනවා. ඒ නිසා අපේ උපරිම කැපවීමෙන් නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහිත් මහජනයාගේ ගෞරවය, මහජනයාගේ විශ්වාසය, තහවුරු කිරීමට අපගේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල කරනවා. ඒ වගේම අප හමුවේ තිබෙන ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට, හුදු දේශපාලන පක්ෂයකට හුදු පුද්ගලයකුට පමණක් පියමං කළ හැකි දෙයක් බව අපි විශ්වාස කරන්නේ නැහැ. මෙයට පෙරත් මම ප්‍රකාශ කර ඇති පරිදි මා ඉන්ද්‍රජාලිකයකු හෝ මැජික්කරුවකු නොවෙයි. මා මේ රටේ ඉපදුණු සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාව තිබෙනවා. නොහැකියා තිබෙනවා. දන්න දේවල් තිබෙනවා. නොදන්න දේවල් තිබෙනවා. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්ය හැකියාව උරාගෙන, දන්න දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන ක්‍රියා කිරීමයි.

ඒ නිසා ඒ සාමූහික මැදිහත්වීමේ පංගුකරුවකු ලෙස පත්වීම මගේ වගකීමයි.ඒ වෙනුවෙන් සාමූහිකව මැදිහත්වීමේ කොටස්කරුවකු හැටියට මා පත් වෙනවා.මේ අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියන්ටත්, සියලු ක්ෂේත්‍රවල අයටත් විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් මා හැමදෙනාගේම සහයෝගය අපේක්ෂා කරනවා. නමුත් රටේ ජනාධිපතිවරයා ලෙස මේ කාර්යය මෙහෙයවීමේ ප්‍රමුඛතම හා ප්‍රධානම වගකීමත් මා වෙත තිබෙන බව තේරුම් ගෙන තිබෙනවා. ඒ නිසා ක්‍රියාවෙන්ම හැම අවස්ථාවකදීම මේ අභියෝගය පියමං කිරීමට මා වෙත පැවරී තිබෙන වැඩ කොටස මා නිසි පරිදි ඉටු කරන බව මේ මේ රටේ පුරවැසියන්ට, සමාජයට ඒත්තු ගන්වන්න මම සූදානම්.

ඒ වගේම අපේ රටට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. ලෝකයේ කවර බල බෙදීමකදී වුවත් අපට වඩාත් වාසි සහගත ලෙස අපි අපේ විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යනවා. අපට අවශ්‍ය ලෝකයේ හුදකලා රාජ්‍යයක් නොවෙයි. ලෝකයත් සමඟ සාමූහිකව, ඒකාබද්ධව ඉදිරියට යායුතු රාජ්‍යයක්. ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපේ රට ගොඩනැඟීමේදී කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඔවුන් වඩා ශක්තිමත්ව අපේ රට ගොඩනැඟීමට රජයේ ක්‍රියාවලියට සහයෝගය දේවි. උදව් කරාවි කියා බලාපොරොත්තු වෙනවා.

අවසන් වශයෙන් මම කියන්නේ, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකින් මාව ජනාධිපති ලෙස තෝරා පත් කරගෙන සිටිනවා. ඒ තෝරා පත් කර ගැනීමට ජනතාව මා වෙත ඡන්දය දී තිබෙනවා. මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මගේ පාලන කාලයේ මට පැවරී තිබෙන කාර්යභාරය, අපට ඡන්දය නොදුන්, අපව විශ්වාස නොකරන අයගේ සහයෝගය ලබා ගැනීම සහ විශ්වාසය දිනා ගැනීම සාර්ථකව කළ හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා. ඉදිරියේදී මේ සියල්ල ප්‍රායෝගිකවත් අත්විඳින්න හැකිවේවි. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හරිනි අමරසූරිය, විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.