නව ජනපතිට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් ගලා එයි

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් ලෝක නායකයන් ඇතුළුව විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සිය සුබ පැතුම් එක්කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය සුබ පැතුම් එක්කර තිබෙන අතර ශ්‍රී ලංකාව සමඟ පවත්නා සහයෝගිතාව ගොඩනඟා ගනිමින් නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කරන බවට සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. ශ්‍රී ලංකා – ඉන්දියා සහයෝගිතාව සියවස් ගණනාවක් ඈතට දිවයන බව පෙන්වා දෙන ඉන්දීය අගමැතිවරයා එම සබඳතා අද වනවිට ඉහළ මට්ටමකට පැමිණ තිබෙන බව ද එය තවදුරටත් ශක්තිමත් කර ගැනීම දෙරටේ අපේක්ෂාව බව ද කියාසිටී.

ඊට අමතරව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ද ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සිය සුබපැතුම් එක්කර තිබෙන අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එම මිත්‍රත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ද ෂී ජින්පින් මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් මහතා ශ්‍රී ලංකාවේ ජනතාව සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසා කර තිබෙන අතර, මැතිවරණයෙන් පිළිබිඹු වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී මාර්ගවලින් තම අනාගතය හැඩගස්වා ගැනීමට පුරවැසියන්ගේ ඇති කැපවීම බව ප්‍රකාශ කර තිබේ.

ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයන්හි දී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජනපදය කැපවී සිටින බව ද මිලර් මහතා ප්‍රකාශයක් කරමින් පවසයි.

“බෙදාගත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ජාතික ස්වෛරීභාවයට ගරු කිරීම මත පදනම් වූ අපගේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව, ආර්ථික වර්ධනය, ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ අපගේ ජාතීන් අතර සහයෝගීතාව ගැඹුරු කිරීම අපි අපේක්ෂා කරනවා” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.