රටේ ජනතාව විශාල බලාපොරොත්තු සමඟ මෙම ජයග්‍රහණය ලබා දී තිබෙනවා-මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති

ජයග්‍රහණයෙන් පසු රටේ කලබල ඇතිවේ යැයි මතයක් හදන්නට විරුද්ධවාදීන් උත්සාහ කළත් අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසු එවැනි කිසිදු කලබලයක් ඇති නොවුණු බවත් එය රටට අවශ්‍ය වී තිබුණු ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවැසූහ.

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ මල්වතු මහනාහිමියෝ මේ බව පැවැසූහ.

තවදුරටත් උන්වහන්සේ මෙසේද පැවැසූහ.

රටේ ජනතාව විශාල බලාපොරොත්තු සමඟ මෙම ජයග්‍රහණය ලබා දී තිබෙනවා. එම ජනතා අපේක්ෂාවන් මුදුන් පැමිණ වීම සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා.

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළහොත් රටේ කලබල ඇතිවේ යැයි මතයක් රටේ ඇති කරන්නට පිරිසක් දැඩි උත්සාහයක නිරත වුණා. නමුත් කිසිවකුට හෝ හිරිහැරයක් කරදරයක් නොවන ආකාරයෙන් ජයග්‍රහණයේ සතුට සමරන්නට පාක්ෂිකයින් කටයුතු කළේ යැයි මෙහි දී අනුර කුමාර දිසානායක මහතා මහනාහිමියන් හමුවේ පැවැසුවේය.

අලුත් වෙනසකට මුලපුරන්නට අවශ්‍ය බව මේ රටේ ජනතාව තමන්ගේ ජනමතයෙන් පෙන්වා දී තිබෙන බවත් නීතිය, ආර්ථික ගමන් මග, දේශපාලන සංස්කෘතිය ආදී සියල්ලේ වෙනසක් සඳහා කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. අදාළ වෙනස්කම් ඇති කිරීමට නම් ඊට අදාළ ක්ෂේත්‍රවල නිරත වන අයගේ සහාය අවශ්‍ය බවත් එම සහාය ලබා ගැනීම අරමුණ බවත් ජනපතිවරයා කීවේය. මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, කාරක සංඝ සභාව නියෝජනය කරන දොරණෑගම රතනපාල, තිබ්බටුවාවේ මේධංකර, මහවෙල රතනපාල යන නාහිමිවරු ද සහභාගි වූහ.