නව ආරක්ෂක ලේකම් වැඩ භාර ගනී

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (23) පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිය පත්වීමට අදාළ රාජකාරින් නිල වශයෙන් භාර ගන්නා ලදි.

නව ධුරයේ පත්වීම ලැබීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජාතික බුද්ධි ප්‍රධානී ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් නිලධාරියකු වන එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්ත, වසර 33කට අධික කීර්තිමත් හමුදා සේවා කාලයක් නිම කොට 2021 වසරේ නොවැම්බර් මාසයේ දී විශ්‍රාම ලැබීය. විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ පුහුණු තනතුර දැරීය.

1966 නොවැම්බර් 26 වන දින කොළඹ දී උපත ලැබූ එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්ත මහතා තර්ස්ටන් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරීය. ඔහු සිය පාසල් ජීවිතයේදී අධ්‍යාපන කටයුතුවලට මෙන්ම රග්බි ක්‍රීඩාවට ද මහත් ඇල්මක් දැක්වීය. තර්ස්ටන් විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කළ ඔහු 1986 වසරේදී කොළඹ පාසල් රග්බි කණ්ඩායම නියෝජනය කිරීමට ද තේරී පත් විය.

1988 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ආධුනික කැඩෙට් නිලධාරී පාඨමාලාවට පුහුණු නිලධාරි කැඩෙට් නිලධාරියකු ලෙස එක් වූ ඔහු 1990 වසරේදී නියමු පොදු රාජකාරී ශාඛාවේ ගුවන් නියමුවකු වශයෙන් අධිකාරී ලත් නිලධාරියකු ලෙස සිය ගුවන් හමුදා සේවය අරඹනු ලැබීය. ඔහු සිය පුහුණු කාලසීමාව තුළදී කැඩෙට් නිලධාරීන්ගේ මූලික සටන් පුහුණු පාඨමාලාව සහ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ මූලික පියාසර පුහුණුව මෙන්ම අංක 7 හෙලිකොප්ටර් බළගණයේ මූලික සහ උසස් හෙලිකොප්ටර් පුහුණු පාඨමාලා ද සාර්ථකව නිම කොට ඇත.

පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු 1990 වසරේදී ගුවන් නියමුවකු වශයෙන් බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානාවල පියාසර මෙහෙයුම් රාජකාරි සිදුකොට ඇති ඔහු 2001 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ මූලික කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බළගණයේ නිලධාරී අණ දෙන මෙහෙයුම් ලෙස පත් කරන ලදි. අනතුරුව 2005 වසරේදී එම බළගණයේ අණදෙන නිලධාරියා ලෙස සේවය කළේය. මානුෂීය මෙහෙයුම්වලදී භූමියේ සටන්වලට මෙන්ම නාවික යාත්‍රාවන්ට ගුවනේ සිට අවශ්‍ය වෙඩි බලය සහ ආරක්‍ෂාව සැපයීම සඳහා මෙම බළගණය යටතේ ක්‍රියාත්මක වූ එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මඟින් අතිවිශාල කාර්යභාරයක් සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ පුහුණු තනතුරට පත්වීමට ප්‍රථමයෙන් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්ත, ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුරේ අණදෙන නිලධාරී ලෙස ද චීනවරාය විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද කටුනායක මූලික කඳවුරේ අණදෙන නිලධාරී ලෙස ද කටයුතු කොට ඇත. කටුනායක මූලික කදවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කල කාලසීමාව අතරතුර ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා බටහිර විධානයේ පළමු අණදෙන නිලධාරීවරයා ලෙසද කටයුතු කළේය.

තම සේවා කාලය තුළ අවසන් මානුෂීය මෙහෙයුම ඇතුළු සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා සක්‍රියව සම්බන්ධ වී ඇති එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්ත, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් ගුවන් මෙහෙයුම් සහ ප්‍රභූ ප්‍රවාහන රාජකාරිවලට අමතරව විශේෂයෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු වශයෙන් පියාසර පැය 7000 කට අධික කාලයක් වාර්තා කරමින් මාතෘභූමිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා ලෙස ද වසර දෙකක කාලයක් සේවය කොට ඇති ඔහු 2014 වසරේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක – ගුවන්, ලෙස ද කටයුතු කර ඇත. පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා ලෙස ද වසර දෙකක කාලයක් සේවය කොට ඇති එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්ත, 2014 වසරේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක – ගුවන්, ලෙස ද කටයුතු කර ඇත.

මානුෂීය මෙහෙයුම්වලදී සිය දිවි පරදුවට තබමින් සතුරාට එරෙහිව සිදුකළ නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්ත අවස්ථා කිහිපයකදී වීරවික්‍රම විභූෂණය රණවික්‍රම පදක්කම සහ රණශූර පදක්කම යන පදක්කම්වලින්ද ගෞරවයට පාත්‍ර වී ඇත.